ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාව 'වීසා දිය යුතුයි'

Minister Alistair Burt with Saroj Pathirana
Image caption අවසරලත් මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි බ්‍රිතාන්‍යය බලාපොරොත්තු පළ කරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරීම පිණිස අවසරලත් සියලු ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා ආණ්ඩුව වීසා බලපත්‍ර නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිලිබඳ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් ඒ බව ප්‍රකාශ කළේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගය සම්බන්ධයෙන් No Fire Zone වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ කැලම් මැක්රේ ට සමුළුව පැවැත්වෙන කාලය තුල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර නොදෙන බවට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් බන්දුල ජයසේකර තරජනය කළැයි චිත්‍රපටයේ නිෂ්පාදකයෝ පවසති.

නිදහසේ සංචාරය කිරීම

තවත් විදේශීය මාධ්‍යවේදීන් ගණනාවකට ද වීසා බලපත්‍ර නොලැබෙනු ඇති බවට ඉඟි පලවී තිබෙන බව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවයි, සංදේශය කළ විමසීමකදී අමාත්‍ය බර්ට් කියා සිටියේ.

Image caption අමාත්‍යවරයා සංදේශයට හමුවුනේ කොන්සර්වේටිව් පක්ෂයේ දෙමළ ආධාරකරුවන්ගේ වාර්ෂික රැස්වීමේදී

කෙසේ නමුත් සමුළුව වාර්තා කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ට අවසරපත් නිකුත් කිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ වගකීමක් බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව අවධාරණය කරයි.

එපමණක් නොව එසේ අවසරලත් සියලු මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සංදේශයට කියා සිටියේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ශ්‍රී ලංකාවේ බලධාරීන්ට වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයටත් අපි ඒක දිගින් දිගටම අවධාරණය කරනවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

වීසා නිකුත් කිරීමේ "සාමාන්‍ය ක්‍රියා පිළිවෙත කවරක් වුවත්" සමුළුව වාර්තා කිරීමට සුදුසු පුද්ගලයෙක් ලෙසින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය තීරණය කරන තැනැත්තෙකුට "අනිවාර්යයෙන්ම" වීසා බලපත් නිකුත් කිරීම "ඉතා වැදගත්" බවයි ඔහු අවධාරණය කරන්නේ.

බ්‍රිතාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව

මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ හොත් කුමක් කරන්නේ දැයි විමසූ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ, සිදු නොවූ දෙයක් සම්බන්ධයෙන් තමන්ට අදහස් පළ කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන සියලුම බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂාව තමන්ට ඉතා වැදගත් අතර, විශේෂයෙන්ම සමුළුව පැවැත්වෙන කාලය අතරතුර බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට තර්ජනවලින් තොරව සිය වෘත්තියේ නිරතවීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිලිබඳ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් සංදේශයට කියා සිටියේය.

ඇතැම් බ්‍රිතාන්‍ය පුරවැසියන් ශ්‍රී ලංකාවේදී අතවරවලට ලක් වී තිබෙන නමුත්, සමස්තයක් වශයෙන් සංචාරකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ආරක්ෂිතව ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි වාතාවරණයක් පවතින බව පවසන අමාත්‍යවරයා එවැනි සංචාරයකට ප්‍රථම බ්‍රිතාන්‍ය පුරවැසියන් සිය අමාත්‍යාංශය නිකුත් කරන සංචාරක උපදෙස් පරිහරණය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍යයේ වෙසෙන කොන්සර්වේටිව් පාක්ෂික දෙමළ ජාතිකයන්ගේ වාර්ෂික රැස්වීමේදීයි ඇමතිවරයා සංදේශයට එම අදහස් පළ කළේ.