යුද අනාථයන්ගේ අයදුම්පත් 'අඩක්ම ප්‍රතික්ෂේප කරලා'

War displaced in Sri Lanka
Image caption අයැදුම් පත් 10243 අතුරින් 'ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබී ඇත්තේ 4989 කට පමණයි'

උතුරේ යුද අනාථයන් විසින් මැතිවරණයට ලියාපදිංචි වීම සඳහා ලබා දුන් අයදුම්පත් අතුරින් අඩකට වැඩි සංඛ්‍යාවකට ඡන්ද අයිතිය අහිමි වී ඇතැයි මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් කියා සිටී.

ඉකුත් වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සඳහා අයදුම් කළ යුද අනාථයන් දස දහසකට අධික පිරිස අතුරින් පන්දහසකට වැඩි සංඛ්‍යාවකගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප වී තිබීම ගැන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (කැෆේ) විමතිය පළ කොට තිබේ.

යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිව උතුරෙන් පිටවී සිටින ඡන්ද දායකයන් ඉදිරි මැතිවරණ සඳහා ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කොට තිබු කාලය නිම වූයේ ඉකුත් සතියේ.

ඒ කාලය තුල ලැබුණු අයැදුම් පත් 10243 අතුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබී ඇත්තේ 4989 කට පමණක් බවයි කැෆේ සංවිධානය පවසන්නේ.

මේ පිළිබඳව සංදේශය කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් කරනු ලබන ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට තමන් බැඳී නැති බවයි.

උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා සඳහා නාම යෝජනා ජූලි විසි පස් වැනි දා සිට අගෝස්තු පළමු වැනි දා භාර ගන්නා බව මැතිවරණ කොමසාරිස් වරයා මේ වන විට දැනුම් දී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර