උතුරේ පාසල් භූමිය තුළ 'තැබෑරුම් අරින්න අවසර දීලා'

School children in Sri Lanka
Image caption 'ලංකාවේ අනිත් ප්‍රදේශවල සංගීත සංදර්ශන පවත්වද්දී, ඒක ඇතුලේ මත්පැන් ශාලා පිහිටවන්නේ නැහැ'

යුද්ධයෙන් අනතුරුව උතුරේ තරුණ පරපුර මුහුණදෙමින් සිටින බරපතල දෛනික ගැටළු අමතක කිරීමේ අටියෙන් ඔවුන් මත්පැනට යොමු කිරීමේ සංවිධානාත්මක වැඩ පිළිවෙලක් දියත් කොට තිබෙන බවට විපක්ෂයේ තරුණ සංවිධානයක් ආණ්ඩුවට චෝදනා කරයි.

උතුරේ පාසල් ක්‍රීඩාංගනවල සංගීත සංදර්ශන පවත්වන අතරවාරයේ පාසලේ ක්‍රීඩාංගන තුල මත්පැන් ශාලා පිහිටවීමට අවසර දීම එහි අලුත්ම පියවර බවයි, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ.

"ලංකාවේ අනිත් ප්‍රදේශවල සංගීත සංදර්ශන පවත්වද්දී, ඒක ඇතුලේ මත්පැන් ශාලා පිහිටවන්නේ නැහැ," යනුවෙන් ද ඔහු පැවසීය.

'පාසල්වලට විදුලිය නෑ'

මීට පෙරාතුව පුනරුත්ථාපන කඳවුරුවලදී උතුරේ තරුණ තරුණියන්ට අසභ්‍ය චිත්‍රපට බෙදා දුන් බලධාරීන් දැන් පාසල්වල මත්පැන් ශාලා විවෘත කිරීම උතුරේ සමාජය "පාදඩකරණය" කිරීමක් ලෙසිනුයි, සමාජවාදී තරුණ සංගමය හඳුන්වා දෙන්නේ.

උතුරේ තරුණ පරපුර දේශපාලනයට යොමුවීමෙන් වැළැක්වීම සඳහා ඔවුන් මත්පැනට සහ නිල් චිත්‍රපට වැනි දේට යොමු කිරීමේ අවශ්‍යතාවය ආණ්ඩුවේ බලධාරීන් ප්‍රසිද්ධියේ පළ කොට තිබූ බවත් ඔහු සඳහන් කළේය.

පාසල් තුල මත්පැන් හල් විවෘත කිරීමට බලධාරීන් ගේ අනුමැතිය පළ වෙද්දී, කිලිනොච්චියේ බොහෝ පාසල් විදුලි බිල පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක පසුවන බව ද සමාජවාදී තරුණ සංගමය පවසයි.

"මේක මෙහෙම වෙන්නේ ජනාධිපතිවරයාගේ පුත්තු ලයිට් දාගෙන රේස් පදින, ලයිට් දාගෙන රගර් ගහන වටපිටාවක," යනුවෙන් ද බිමල් රත්නායක සඳහන් කළේය.

මේ තත්වය වහාම වෙනස් කොට උතුරේ අලුතින් විශ්ව විද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන බිහි කිරීමේ අවශ්‍යතාවය සමාජවාදී තරුණ සංගමය අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර