දිනුවොත් මහ ඇමති තීරණය කරන්නේ මම - ඇමති දේවානන්ද

Minister Douglas Devananda
Image caption 'මහ ඇමති තීරණය කරන්න මට බලය වගේම සදාචාරාත්මක අයිතියකුත් තියෙනවා'

උතුරේ පළාත් සභා මැතිවරණයෙන් පාලක සන්ධානය ජයග්‍රහණය කළොත්, නව මහ ඇමතිවරයා තීරණය කරන්නේ තමා බව ඊපීඩීපී සංවිධානයේ නායකයා පවසයි.

සමාජ සුභසාධනය පිලිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඒ බව ප්‍රකාශ කළේ, බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

"උතුරේ මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ මම. ඒ නිසා මහ ඇමති තීරණය කරන්න මට බලය වගේම සදාචාරාත්මක අයිතියකුත් තියෙනවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

"මම හිතනවා ජනාධිපතිතුමා වුනත් ඒක පිළිගනීවි."

'සිහිනයක්'

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට ඊපීඩීපී සංවිධානය තීරණය කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

තම පක්ෂය දැනටමත් පාලක සන්ධානයේ හවුල්කරුවකු වීමත්, ආණ්ඩුවේ සහාය නොමැතිව පළාත් සභාවක් පවත්වාගෙන යා නොහැකි වීමත් එම තීන්දුවට එළැඹීමට බලපෑ හේතූන් බවයි, ඔහු පවසන්නේ.

උතුරේ මැතිවරණය සඳහා තරග වදින ආණ්ඩු පක්ෂ කණ්ඩායම යාපනය දිස්ත්‍රික්කයේ ආසන සංඛ්‍යාවෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඊපීඩීපී යට පවරා තිබේ.

මෙවර තරඟ වැදීමට අවස්ථාව නොලැබුණු නමුත් උතුරේ මහ ඇමති ධුරය තමන්ගේ සිහිනයක් බව ද අමාත්‍ය දේවානන්ද බීබීසී යට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර