වෙළෙඳ ව්‍යාපාර හමුදාවට දීමෙන් 'රට අනතුරේ'

Image caption විශ්‍රාම යන හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය ඉකුත් දා ප්‍රකාශ කොට තිබුණේ තරඟකාරී වෙළඳ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතුළු වීම සඳහා යුධ හමුදාව කැබිනට් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි

පෞද්ගලික ව්‍යවසාය ගොඩනගා ගනිමින් ලාබ ලබන ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා යුද හමුදාවට අවසර දීම ‘ජනතා පරමාධිපත්‍යය අවදානමේ හෙළීමකැ’යි එක්සත් ජාතික පක්ෂය අනතුරු අඟවයි.

සන්නද්ධ බලය සහිත හමුදාවට ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ඉඩ දුන් බොහෝ රටවල පාලනය, සෘජුව හෝ වක්‍රාකාරව හමුදාව විසින් සිදු කරනු ලබන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, නීතීඥ අජිත් පී. පෙරේරා කියා සිටියේය.

'හොඳම උදාහරණය ඊජිප්තුව'

‘මේකට හොඳම උදාහරණය තමයි ඊජිප්තුව. හමුදාවේ ව්‍යාපාරවලට ඇඟිලි ගසන්නේ නැහැ කියල ඡන්දෙන් පත්වුණු ජනාධිපතිවරයාට සිදු වුණා හමුදාව සමඟ ගිවිසුමක් ගසන්නට’ නීතීඥ අජිත් පී. පෙරේරා මන්ත්‍රී වරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

විශ්‍රාම යන හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය ඉකුත් දා ප්‍රකාශ කොට තිබුණේ තරඟකාරී වෙළඳ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතුළු වීම සඳහා යුධ හමුදාව කැබිනට් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.

'පාලනය කර ගන්න බැහැ’

ලාබ ලබන තරඟකාරී වෙළඳ ක්ෂේත්‍රයට පිවිසිය හොත් යුද හමුදාව රජයේ පාලනයෙන් ගිලිහෙන බව තහවුරු කරමින් අජිත් පී. පෙරේරා මන්ත්‍රී වරයා කියා සිටියේ වත්මන් රජයට ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් පවා පාලනය කරගත නොහැකි වී ඇති බවයි.

‘අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මිනී මරනවා, ස්ත්‍රී දූෂණය කරනවා, ඔවුන්ගේ දරුවන් විනෝදෙට වෙඩි තියනවා. තමන්ගේ පක්ෂයේ මහජන නියෝජිතයන් පාලනය කර ගන්න රජයට බැහැ.’ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, නීතීඥ අජිත් පී. පෙරේරා කියා සිටියේය.