නිරීක්ෂණ සංවිධානවලට ආරාධනා කළා - කොමසාරිස්

election2013
Image caption පළමු දින හත ඇතුලත තුන්දහසකට අධික පිරිසක් හැඳුනුම් පත් සඳහා අයදුම් කොට තිබේ

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණවලට අදාළ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර සංවිධානවලට ආරාධනා යවා ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒ බව සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

උතුරු, මධ්‍යම හා වයඹ පළාත් සභා ඡන්ද විමසීම් නිරීක්ෂණය කිරීමේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ සැක මතු කිරීමත් සමග ඔවුන්ගේ ඉල්ලීම මත මෙසේ විදේශීය නිරීක්ෂකයින් කැඳවීමට තීරණය කල බව කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ නමුත් ඇරයුම් කොට තිබෙන විදේශීය නිරීක්ෂණ සංවිධාන පිළිබඳ තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ ඔහු කියා සිටියේ ඒ පිලිබඳ නිල ප්‍රකාශනයක් පසුව ඉදිරිපත් කෙරෙන බවයි.

යුරෝපා සංගමය නෑ

මෙම පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රි ලංකා රජය හෝ මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ යුරෝපා සංගමය වෙතත් ආරාධනා කළ යුතුව ඇති නමුත් මේ දක්වා එලෙස ආරාධනා කිරීමක් සිදුවී නැති බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ මධ්‍යස්ථානය හෙවත් කැෆේ සංවිධානය මෙයට පෙර පවසා තිබුණේ.

Image caption යුරෝපා සංගමයේ නිරීක්ෂකයන්ට ආරාධනා නොකළ බව කොමසාරිස්වරයා පවසයි

කෙසේවුවද, මැතිවරණ කොමසාරිස් වරයා විසින් ආරාධිත සංවිධාන අතර ඉහත කී සංවිධාන තිබෙන්නේ ද යන්න අනාවරණය වී නැත.

තමන් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ සඳහා පැමිණෙන බවට එම ආරාධිත සංවිධාන කිසිවක් මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති වීම පිළිබඳව ද කැෆේ සංවිධානය අවධානය පළ කොට තිබේ.

යුරෝපා සංගමයට ආරාධනා නොකිරීම පිළිබඳව සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස් වරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමය සහභාගි නොවන බවට සංවිධානය විසින් පසුගිය දා ප්‍රකාශ කොට තිබූ බැවින් ඔවුන්ට ආරාධනා නොකළ බවයි.

මේ අතර කැෆේ සංවිධානය, ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ජාතික හැදුනුම්පත් හෝ වෙනත් අනන්‍යතා සහතික නොමැති පුද්ගලයන් හට පහසුකම් සැලසීමේ ජංගම සේවාවක් යාපනය, මුලතිව් සහ කිලිනොච්චි යන ප්‍රදේශ වල ක්‍රියාත්මක වූ අතර එය දින හතරක කාලයක් නල්ලුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙදී ද ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

කිලිනොච්චියේදී පමණක් පළමු දින හත ඇතුලත තුන්දහසකට අධික පිරිසක් හැඳුනුම් පත් සඳහා අයදුම් කිරීම චන්දය භාවිත කිරීමට යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ඇති උනන්දුව පිළිබිඹු කරන්නක් බව විශ්ලේෂකයන්ගේ මතයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර