මුඩු ඉඩම් ජාතික අපරාධයක් - එජාප

වතුකරයේ භූමි ප්‍රමාණයක් මුඩුව පැවතීම ජාතික අපරාධයක් ලෙසින් හඳුන්වන එක්සත් ජාතික පක්ෂය එම ඉඩම් වතු කම්කරු ජනතාවට පැවරිය යුතු බවට යෝජනා කරයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව විසින් කඳුරට වගා නොකළ ඉඩම් ලෙසින් 3500 කට අධික අක්කර ප්‍රමාණයක් හඳුනා ගෙන ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් යෝගරාජන් අඟහරුවාදා කොළඹදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේ.

දෙදහස් එකොළහ සහ දෙදහස් දොළහ යන වසර දෙකේම අයවැය මගින් එම ඉඩම් පවරා දීමට යෝජනා කරුණු බවත් ඔහු මාධ්‍යවේදීන්ට සිහිපත් කර දුන්නේය.

වතුකරයේ වගා නොකළ ඉඩම් බෙදා දීමේදී අඩුම වශයෙන් වසර පහක් වත් සේවය කළ කම්කරුවන් ප්‍රමුඛස්ථානයේ ලා සැලකිය යුතු බවද ඔහු සඳහන් කළේය.

පලදායීතාව ඉහළ නැංවීම

ඉඩම් පවරා දීමේ කාර්යාවලියට වතු අධිකාරී වරුන්ද සහභාගී කර ගත යුතු අතර තේ හෝ රබර් වගාවට එම ඉඩම් යෙදවීම පලදායීතාව ඉහළ නංවනු ඇති බවයි ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නායකත්වය උසුලන මන්ත්‍රීවරයා පවසන්නේ.

එසේවූ කල පලදාව වතු කම්හල් වලටම අලෙවි කොට දීමේ වැඩ පිළිවෙලක් සකස් කළ හැකි බව ආර් යෝගරාජන් මන්ත්‍රීවරයා කියා සිටී.

1973 දී බෙදා දුන් වතුකරයේ ඉඩම් වල එළවලු වගා කළ හිමිකරුවන් පාඩු විඳ ගත නොහැකිව කන්න දෙක තුනකින් ගොවිතැන් අත්හැර ගිය බව ඔහු වැඩිදුරටත් පවසයි.