පක්ෂ නායකයාට බනිමින් ජනතා විරෝධී ආණ්ඩුවකට එකතු වෙලා - එජාප

dayasiri jayasekara

පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරෙන් ඉල්ලා අස්වී පාලක සන්ධානයෙන් වයඹ පළාත් සභාවට තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ ඔහු, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ඒකාධිපති ක්‍රියා කලාපය හේතුවෙන් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ හෙයින් තමන් පක්ෂය හැර යන බව කියා සිටියේය.

"එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සාපේක්ෂව බලන කළ ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් ලෙස පෙනෙන්නේ නැහැ,"යැයි දයාසිරි ජයසේකර කියා සිටියේය.

වයඹ පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හතලිස් දෙනෙක් පමණ ආණ්ඩු පක්ෂයට සහය පළ කිරීමට කැමැත්ත පළ කොට ඇතැයි ද එජාප මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ඒකාධිපති ක්‍රියා කලාපය හේතුවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂය හැරදා යන බව කීම පදනම් විරහිත ප්‍රකාශයක් බවයි, බී බී සී සංදේශය හා සාකච්ඡාවකට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේ.

"එක් පක්ෂයක් ඇතුලත එක් නායකයකු ගේ අඩුපාඩුවක් ඇතැයි කියමින් ජනතා විරෝධී ආණ්ඩුවකට එකතු වීම විසඳුමක් නොවේ," යැයි තිස්ස අත්තනායක පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉල්ලා අස්වීමෙන් ඇතිවෙන පුරප්පාඩුවට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ ඊළගට වැඩිම මනාප ගණනක් ලබා ගෙන සිටින නලීන් බණ්ඩාර පත් කෙරෙන බව ද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පැවසීය.