පොලීසිය හා යුද හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් එක් පුද්ගලයෙක් මිය යයි

වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන් විසින් බැලුම්මහර නගරයේ කොළඹ-නුවර මාර්ගයේ අද පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට පොලීසිය සහ යුද හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

තුවාල ලැබූ විසි දෙනකු පමණ රෝහල් ගත කොට ඇති බවයි ගම්පහ මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ.

කර්මාන්තශාලාවක් වසා දමන ලෙස ඉල්ලා සිටින උද්ඝෝෂකයන් දහස් ගණනකට කිසිම හේතුවක් නැතිව පහර දුන් බවයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සංදේශයට ප්‍රකාශ කළේ .

වැලිවේරිය රතුපස්වල පිහිටි හේලීස් සමාගමට අයත් අත් වැසුම් කම්හලක් නිසා පවුල් දස දහසකට අධික පිරිසක්, පානය කිරීමට හා පරිභෝජනය සඳහා ලබා ගන්නා ජලය විස වන බවට චෝදනා කරති.

මෙම වෙළෙඳ ව්‍යාපාරයකට එරෙහිව ගල්ඔලුව සිරි සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් උපවාසයක් ආරම්භ කොට තිබිණ.