වැලිවේරියේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර 'හමුදා රාජ්‍යයක ලකුණු'

Weliweriya church on Friday
Image caption ප්‍රහාරයේදී දේවස්ථානයටද වෙඩි පහර වැදී හානි සිදු වී තිබෙන බව කිතුහඬ සංවිධානය පවසයි

පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල දී උද්ඝෝෂණය කළ ජනතාවට හමුදාව ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ එය වාර්තා කළ මාධ්‍යවේදීන්ට හමුදා පැහැර දීම පැහැදිලිවම හමුදා රාජ්‍යයක ලක්ෂණ ප්‍රදර්ශනය කරන්නක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

උද්ඝෝෂණයේ යෙදී සිටි රතුපස්වල ජනතාවට හමුදාවේ ප්‍රහාර එල්ලවීමට ප්‍රථම පොලීසිය සහ හමුදාව විසින් ප්‍රදේශයෙන් මාධ්‍යවේදීන් පලවා හැර තිබෙන බව පවසන මාධ්‍ය සංවිධානය, මාධ්‍යවේදීන් කිහිපදෙනකුට පහර දී කැමරා විනාශ කොට තිබෙන බව ද පවසයි.

එම ප්‍රහාරවල දී එක් මාධ්‍යවේදිනියක තුවාල ලබා තිබෙන නමුත්, හමුදාව විසින් ගම්මානය වට කොට සිටි බැවින් ඇයට මුළු රාත්‍රියම නිවසක කොටු වී සිටීමට සිදු වී ඇති බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දේවස්ථානයට ප්‍රහාර

වහලක් උඩ සිට උද්ඝ්ෂණයේ ඡායාරූප ගත් 'අද' පුවත්පතේ මාධ්‍යවේදියාට වහලෙන් බසින් ලෙස අණ කොට, පහර දී, තුවාල කොට, කැමරා විනාශ කොට තිබෙන බව ද නිවේදනය පවසයි.

උද්ඝෝෂකයන්ට ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ තවත් කැමරා මාධ්‍යවේදීන් පිරිසක් නිවසකට කොටු කොට රැකවල් ලා තිබූ බව ද එහි සඳහන්.

මේ අතර රතුපස්වල ජනතාවට එල්ල කළ ප්‍රහාරය සමස්ත ලාංකීය කතෝලික ප්‍රජාවම හෙලා දකින බවයි, 'කිතුහඬ' කතෝලික දහම රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ප්‍රහාරයේදී තුවාල ලැබූ භික්ෂූන් වහන්සේට ඉක්මන් නිරෝගී සුවය පතන එම නිවේදනය, ප්‍රහාරයේදී වැලිවේරිය දේවස්ථානයටද වෙඩි පහර වැදී හානි සිදු වී තිබෙන බව ද සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර