වැලිවේරිය මතකයි නේද? - 'හමුදාවෙන් දෙමළ වැසියන්ට තර්ජන'

Protest in Batticaloa on Sunday
Image caption ඉරිදා පැවැත්වුණු විරෝධතාවයට සහභාගි වී සිටියේ ඉතා සුළු පිරිසක් පමණයි

බ්‍රහස්පතින්දා වැලිවේරියේ ජනතාව මුහුණ දුන් අන්දමේ හමුදා ප්‍රහාරයකට අකමැති නම් මඩකලපුවේ පැවැත්වීමට නියමිතව තිබුණු උද්ඝෝෂණයකට සහභාගි නොවන මෙන් ආරක්ෂක හමුදාව දෙමළ වැසියන්ට තර්ජනය කළ බව දෙමළ ජාතික සන්ධානය (දෙජාස) පවසයි.

ප්‍රදේශයේ කෝවිල් දෙකක සිදු කෙරුණු මංකොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ මන්දගාමී බව පවසන ප්‍රදේශවාසීහු එයට එරෙහිව ඉරිදා උද්ඝෝෂණයක නිරතවීමට නියමිතව සිටියහ.

එහෙත් සෙනසුරාදා රාත්‍රියේ කෝවිල් බලධාරීන් කිහිප දෙනකුගේ නිවාසවලට පැමිණි හමුදා බුද්ධි අංශ නිලධාරීන් "අද රටේ මොනවාද වෙන්නේ කියල දන්නවා නේද," යනුවෙන් පවසා වැලිවේරිය සිදුවීම සිහිපත් කොට ඔවුන්ට තර්ජනය කොට ඇති බවයි, දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී පී සෙල්වරාජා බීබීසී සංදේශයට කියා සිටියේ.

හමුදාව ප්‍රතික්ෂේප කරයි

ඉන් අනතුරුව ඉරිදා විරෝධතාවය පැවැත්වුණු නමුත්, එයට සහභාගි වී තිබෙන්නේ ඉතා සුළු පිරිසක් පමණයි.

කලවන්චිකුඩි හි කුරුක්කල්මඩන් සහ මාන්කාඩු ප්‍රදේශවල කෝවිල් දෙකකට පසුගිය ජුනි පළමු වැනි දින රාත්‍රී කඩා වැදුණු පිරිසක් එහි ප්‍රතිමා බිඳ දමා රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ කොල්ල කා තිබිණ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇතත්, මේ තාක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නැති බවයි, උද්ඝෝෂණය සංවිධානය කළ දෙමළ ජාතික සන්ධානය පවසන්නේ.

කෙසේ නමුත් කෝවිල් මංකොල්ල කෑම සම්බන්ධයෙන් සැක පිට මේ වන විට තිදෙනකු අත් අඩංගුවට ගෙන සිටින බව බීබීසී සංදේශයට කියා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, උද්ඝෝෂණයට සහභාගි නොවන මෙන් තරජනය කළ බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර