වැලිවේරිය ප්‍රහාරයෙන් හත් දෙනකු මිය ගිහින් - එජාප

Colombo General Hospital
Image caption තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහලේදී මිය ගිය බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි

හේලීස් ව්‍යාපාර සමූහයේ අත් වැසුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එකතු වන බව පවසමින් උද්ඝෝෂණයේ යෙදුන රතුපස්වල වාසීන් ට එල්ල වූ ප්‍රහාරයෙන් මේ වන විට හත් දෙනකු මිය ගොස් ඇති බව ප්‍රධාන විපක්ෂය පවසයි.

"වතුර ටිකක් ඉල්ලූ ජනතාවට උණ්ඩයෙන් හිත් පිත් නැති ලෙස පිළිතුරු දුන්," ආණ්ඩුව මියගිය සංඛ්‍යාව ද වසන් කරමින් සිටින බවයි, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශයේ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

හමුදා ප්‍රහාරයේදී වෙඩි වැදුණු අකිල දිනේෂ් පාසල් ශිෂ්‍යයා බ්‍රහස්පතින්දාම මියගිය අතර, තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහලේදී මිය ගිය බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ජනමාධ්‍යවලට පවසා තිබේ.

'මළසිරුරු තුනයි'

වැලිවේරියේ රතුපස්වල උද්ඝෝෂකයන්ට වෙඩි තබන මෙන් නියෝග කළේ කවුද යන්න මෙන්ම හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය පිරිසත් ආණ්ඩුව හෙළි කළ යුතු බව ආණ්ඩුව අවධාරණය කරයි.

"ඒ අණ දුන් බලවතා රාජපක්ෂ අයියාද, නැතිනම් මල්ලීද?" යන්න දැන ගැනීමට සමස්ත ලෝකයම බලා සිටින බවත් නිවේදනයේ සඳහන්.

එම චෝදනා පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගරත්න කියා සිටියේ, තමන් දන්නා තරමින් මේ වනතුරු භාර දී තිබෙන්නේ මළසිරුරු තුනක් පමණක් බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ වෙනත් පාර්ශවයන් විවිධ සංඛ්‍යා ඉදිරිපත් කරන බව පැවසූ ඔහු, ඔවුන්ට එම තොරතුරු ලැබුනේ කෙසේ දැයි තමන් නොදන්නා බව ද කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර