හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඇප මත නිදහස්

පාසල් ගුරුවරියක දණ ගැස්සවූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඇප මත නිදහස් කර තිබේ.

නවගත්තේගම නවෝධ්‍යා විද්‍යාලයට අයුතු ලෙස ඇතුල් වී, විදුහලේ විනය භාර ගුරුවරිය දණ ගස්වා, තුවාල සිදු කොට පසුව මරණ තර්ජන එල්ලකිරීමේ චෝදනා මතයි ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටියේ.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණයේ නඩුවක් ගොනු කොට ඇති හෙයින් මේ සම්බන්ධ නඩු කටයුතු අවසන් කොට, ආනමඩුව සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය මෙසේ ඔහු ඇප මත නිදහස් කොට ඇත.

පුත්තලම දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් රංග දිසානායක ඔහුට මේ මස විසි අට වැනි දින පුත්තලම මහාධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

මේ මස විසි අට වැනිදා තෙක් සෑම දිනකම උදේ නවයත් දොළහත් අතර නවගත්තේගම පොලීසියේ පෙනී සිටින ලෙස නියෝග කළ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට බලපෑම් හෝ තර්ජන එල්ලවී ඇති බව අනාවරණය වුවහොත් හිටපු මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගන්නා ලෙස ද පොලීසියට නියෝග කෙරිණ.