කොස්ගස් හන්දියේ ගැටුමට 'සාමකාමී එකඟත්වයක්'

Scene of the attack on Saturday night
Image caption ගැටලුව සාමකාමීව, එකමුතුව, සමගියෙන් අවසන් වුනා - ඇමති චම්පික රණවක

කොළඹ කොස්ගස් හන්දියේ පැරණි මුස්ලිම් දේවස්ථානය එලෙසම පවත්වාගෙන යාමටත්, එහි තිබෙන බෞද්ධයන් වන්දනාමාන නොකරන බෝධිය ඉවත් කිරීමටත් එකඟතාවකට පැමිණි බව බලධාරීහු පවසති.

බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ප්‍රජා නායකයන්, ආගමික නායකයන්, දේශපාලන නායකයන් සහ පොලිස් නිලධාරීන් ඉරිදා සවස යාමයේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව එම තීන්දුවට එළැඹුණු බව අමාත්‍ය චම්පික රණවක මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

පැරණි දේවස්ථානය ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන තිබූ තීරණය වෙනස් කිරීමත් සමඟම, ඒ වෙනුවට අලුත් දේවස්ථානයක් ඉදි කිරීමේ අවශ්‍යතාවක් ද පැන නොනගින බව අමාත්‍යවරයා පවසයි.

"ගැටලුව සාමකාමීව, එකමුතුව, සමගියෙන් අවසන් වුන," බවයි ඇමතිවරයා පවසන්නේ.

ඇඳිරි නීතිය යලිත්

භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායමක් සෙනසුරාදා රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දීමත් සමඟ ප්‍රදේශයේ ගැටුම්කාරී තත්වයක් හට ගත් අතර, එහිදී ප්‍රදේශයේ නිවාස සහ දේපොළවලට ද අලාභ හානි සිදු විය.

ඉරිදා සවස් යාමයේ යලිත් වරක් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් හට ගැනීම හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම තුල ඉරිදා රාත්‍රී හයේ සිට සඳුදා උදෑසන හත දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කොට තිබේ.

ගැටුමට සම්බන්ධ පිරිස් කැඳවා රජය සාකච්ඡාවක් පවත්වන විටත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ උණුසුම පහව ගොස් නොතිබුන අතර පොලිසිය හා විශේෂ කාර්ය සාධක බලකාය රැකවල් තර කොට තිබිණ.

ග්‍රෑන්ඩ්පාස් හි අලුත් දේවස්ථානය එලෙසම පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙන් මුස්ලිම් නායකයන් කළ ඉල්ලීමට භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ නායකත්වයෙන් සාධනීය ප්‍රතිචාරයක්‌ පළ නොවූ නමුත්, පැරණි දේවස්ථානය පුළුල් කිරීම සඳහා ආධාර කරන බවට ආණ්ඩුව පොරොන්දු වූ බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්එම් අමීන් රැස්වීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.

කෙසේ නමුත්, සෙනසුරාදා ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් මුස්ලිම් නායකත්වය දැක්වූ අදහස්වලට බලධාරීන් ගෙන් ප්‍රතිචාරයක් පළ නොවූ බව ද ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර