ආගමික ගැටුම් ගැන වතිකානයේ අවධානය

ශ්‍රී ලංකාවේ ආගමික නොසන්සුන්තාව පිළිබඳ සිද්ධීන් කිහිපයක් වාර්තාවී ඇති හෙයින් ක්‍රිස්තියානි ප්‍රජාව ගැන තමන් ගේ අවධානය යොමුව තිබෙන බව ශ්‍රී ලංකාවේ සිටින කතෝලික සභාවේ වතිකානයේ අපොස්තලික තානාපති ජෝසප් ස්පිටෙරි හිමියෝ ප්‍රකාශ කරති.

මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දේව මෙහෙය පැවැත්වූ අද බැතිමතුන් අමතමින් උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල කිතුනුවන්ට විවිධ පාර්ශව වලින් විවිධ තර්ජන එල්ලවෙමින් තිබෙන බවයි.

ආගමික සහජීවනය

එසේ වුවත් සමස්තයක් වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන් සෙසු ආගමික කොටස් සමග සහජීවනයෙන් කල් ගෙවන බව පෙනෙන්ට තිබෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

“එය ආශීර්වාදයක් බවයි, ” කතෝලික සභාවේ වතිකානයේ අපොස්තලික තානාපති ජෝසප් ස්පිටෙරි පියනම කියා සිටියේ.

දිගු කාලයක් තුළ යුදමය වාතාවරණයක් පවතී ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ආරක්ෂාවී තිබීම අගය කල යුතු බව පැවසූ උන්වහන්සේ යුද්ධය පැවති කාලය තුළදී වුවත් සියලු ජාතීන් භේදයකින් තොරව මඩු මංගල්‍යය සැමරීමට රැස්වීම සුවිශේෂ කරුණක් බවත් ප්‍රකාශ කළහ.

එසේවුවත් යුද්ධයෙන් පසු පවතින මේ කාල වකවානුව තුළ දී ජාති භේද ආගම් භේද මුල් කර ගනිමින් සිදුවන නොයෙකුත් ආකාරයේ නපුරුකම් වර්ධනය වී තිබීම කනගාටුවට කරුණක් බවත් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.