කිරි පිටි යෝධයා ගෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක්

Image caption නවසීලන්තයේ කිරි අපනයනයෙන් සියයට අනූවක්ම සිදු කරනු ලබන ෆොන්ටෙරා සමාගම එරට විශාලතම කිරි සමාගමයි

තම සමාගමේ කිරි පිටි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ තහනම් කරමින් උසාවි නියෝගයක් පැනවීම අයුක්ති සහගත බව ප්‍රකාශ කරන නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමෙන් අධිකරණ තීන්දු ප්‍රකාර කටයුතු කරන ලෙස සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයක් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ෆොන්ටෙරා වෙළෙඳ නියෝජිතයන් සඳුදාත් තහනම් නිෂ්පාදන අලෙවියට තබා තිබූ බව ශ්‍රී ලංකාවේ බලධාරීන්ටත් දැනුම් දෙමින්, අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති වරයාගෙන් සහ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටි බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සමන් රත්නප්‍රිය සංදේශයට කියා සිටියේ ය.

ෆොන්ටෙරා සමාගමට අයත් කිරි පිටි නිෂ්පාදන වල හානිකර බැක්ටීරියාවක් තිබීම පිළිබඳ බිය පළ කරමින් චීනය, වියට්නාමය හා රුසියාව ෆොන්ටෙරා නිෂ්පාදන අලෙවියෙන් ඉවත් කොට තිබේ.

වෙළඳ ප්‍රචාරණය

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවරන ලද නඩුවක් අනුව ෆොන්ටෙරා කිරි පිටි වර්ග හා කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවිය මෙන්ම අහිතකර වෙළඳ ප්‍රචාරණය ද දෙසතියකට තහනම් කරමින් ඉකුත් සිකුරාදා අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

අධිකරණ නියෝගය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ෆොන්ටෙරා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජොහාන් ප්රීම් (Johan Priem) කියා සිටියේ.

ශ්‍රී ලංකාවට යවා ඇති තම නිෂ්පාදනවල කිසිදු හානිකර බැක්ටීරියාවක් නොමැති බවට ස්වාධීන පරීක්ෂණයක් මගින් තහවුරු කර ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය සතියේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් කරන ලද පරීක්ෂණයක දී සමහර ෆොන්ටෙරා නිෂ්පාදනවල හානිකර බැක්ටීරියාවක් (DCD) තිබීම තහවුරු වූ බවයි.

නවසීලන්තයේ කිරි අපනයනයෙන් සියයට අනූවක්ම සිදු කරනු ලබන ෆොන්ටෙරා සමාගම එරට විශාලතම කිරි සමාගමයි.