කැෆේ සංවිධානය උතුරේ මැතිවරණ ප්‍රචාරණය ගැන ප්‍රශ්න කරයි

යාපනය දිස්ත්‍රික්කයේ නාවන්තුරෙයි ප්‍රදේශයේ හමුදාව විසින් සංවිධාන කළ රැස්වීමකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක එම්.රෙමඩියස් සහභාගිවීම පිළබඳව විමතිය පළ කරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

වෘත්තියෙන් නීතිඥයකු වන ඔහු මැතිවරණ නීති පිළිබඳව මනා අවබෝධයක් ඇති අයකු වන අතර හමුදා නිලධාරීන් සංවිධාන කළ රැස්වීමකට සහභාගීවීම තුලින් තම ප්‍රචාරක කටයුතු සඳහා අයථා වාසියක් ලබාගැනීමට උත්සහ දරා ඇතැයි කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.

මෙවැනි තත්වයක් නැවත ඇතිවීම වැළැක්වීමට සියලු දේශපාලන පක්ෂ නායකයන් සහ මහා ලේකම්වරුන් විසින් පියවර ගත යුතුව ඇති බවයි කැෆේ සංවිධානය පවසන්නේ.

මේ පිළිබඳව කළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක එම්.රෙමඩියස් අප වාර්තාකරු දිනසේන රතුගමගේ හා පැවසුවේ නාවන්තුරෙයි තම ගම බවත් හමුදාව සංවිධාන කළ උත්සවයට තම මිතුරන් කිහිපදෙනකු සහභාගිවී සිටි නිසා ඔවුන් හමුවීමට තමා එහි ගිය බවයි.

මැතිවරණ කටයුතුවලට සහභාගිවීමට තමා එහි නොගිය බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

සිවිල් පරිපාලනය

ආරක්ෂක කටයුතු බාරව කටයුතු කරන හමුදා නිලධාරීන් මැතිවරණ කටයුතු සඳහා කිසිලෙසකින් හෝ සම්බන්ධ නොවිය යුතු බවත් මැතිවරණ ක්‍රියාවලිය සිවිල් පරිපාලනයේ කොටසක් පමණක් බව තම දැඩි විශ්වාසය බවත් කැෆේ සංවිධානය කියා සිටියි.

ආරක්ෂක අංශ මැතිවරණ කටයුතු සඳහා සහභාගී නොවිය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ නායකයන් සමග පැවති සාකච්ජාවේදී දැඩි එකඟතාවකට එළඹ සිටින අවස්ථාවක දී ජන්ද අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හමුදාව විසින් සංවිධාන කරනු ලබන අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම සිදු නොවිය යුතු බවයි කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ.

මතවාද

ඉහත සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල විභාග කිරීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහි ගිය අවස්ථාවෙ දී එම ස්ථානයට ඇතුල්වීම ගැන උතුරේ හමුදා නිලධාරීන් සහ මැතිවරණ නිලධාරීන් අතර පරස්පර අදහස් හා මතවාද හට ගෙන ඇති බව පෙන්වා දෙන කැෆේ සංවිධානය උතුරේ සංචාරයක නිරතව සිටින මැතිවරණ කොමසාරිස්වරයා මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි විශ්වාශය පල කරයි.