යුද සේනාංක දෙකකට ඇමරිකාවෙන් තහංචි

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක දෙකක් පිලි නො ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කරයි.

ජගත් ඩයස් සහ සුදන්ත රණසිංහ යන මේජර් ජනරාල් වරුන් දෙදෙනා යුද සමුළුවකට සහභාගී කර නො ගැනීමට තීන්දු කිරීම පිළිබඳව සංදේශය කළ විමසීමකදීයි ජනරාල් ජගත් ජයසූරිය මේ බව කියා සිටියේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ මේජර් ජනරාල් ජගත් ඩයස් එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසාන අදියරේ දී ගජබා රෙජිමේන්තුවේ 57 වන සේනාංකය මෙහෙයවූ අණදෙන නිලධාරියා විය.

මෙම සේනාංකය යුද සමයේ දී මානව හිමිකම් උල්ලංඝනයේ යෙදී ඇති බවට එක්සත් ජාතීන් ගේ සංවිධානය චෝදනා කර තිබේ.

මත දෙකක්

මේ පිළිබඳව ජනරාල් ජගත් ජයසූරිය කියා සිටියේ ‘මානව හිමිකම් සම්බන්ධයෙන් ඒ ගොල්ලන්ගේ මතයයි අපේ මතයයි වෙනස්’ බවයි.

‘නවනීතම් පිල්ලේ ආපුවම මේ ප්‍රශ්න විසඳෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා’ ජනරාල් ජගත් ජයසූරිය කියා සිටියේය.

මේ අතරතුර 53 වැනි සේනාංකයේ අණදෙන නිලධාරි මේජර් ජනරාල් සුදන්ත රණසිංහ ගේ නම ප්‍රතික්ෂේප වීම සේනාංකය පිලිබඳව ඇති ආකල්පය හේතු වූ බව ජගත් ජයසූරිය ප්‍රකාශ කරයි .

මේජර් ජනරාල් සුදන්ත රණසිංහ 53 වැනි සේනාංකයේ සේනාධිනායක තනතුරට පත් වූයේ යුද්ධය නිම වී වසර කිහිපයකට පසුවයි.

‘සේනාංකයේ නම ගැන තමයි ඒ ගොල්ලන්ට බලපැමක් තියෙන්නේ’ යයි සඳහන් කළ ජනරාල් ජගත් ජයසූරිය තවදුරටත් කියා සිටියේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනාවලින් නිදහස් වනතුරු මෙම ප්‍රශ්නය මතු විය හැකි බවයි.