මාධ්‍යවේදිනියගේ නිවසේ මංකොල්ලය පිටුපස සැකයක්

මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් ගේ නිවසේ සිදු වූ මංකොල්ලය පිටු පස බරපතළ සැකයක් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

සන්ඩේ ලීඩර් පුවත් පතේ සම කර්තෘ මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනියගේ නිවසට අගෝස්තු 24 වැනිදා අලුයම දෙකට පමණ ගිනි අවි සහ පිහි අතැති පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ඇතුළු වී තිබේ.

මංකොල්ල කෑමේ මුවාවෙන් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කොට සත්‍යය හෙළිදරව් කරන ලෙසත් ඇයගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව සලසන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

නිවසේ දුරකථනය විසන්ධි කිරීමෙන් අනතුරුව නිවසට ඇතුළු වූ මෙම මැර කණ්ඩායම, පිහියක් බෙල්ලට තබා මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියට තර්ජනය කොට ‘ඔවුනට අවශ්‍ය නිවසේ වටිනා බඩු මුට්ටු සහ ඇයව’ බව ප්‍රකාශ කර තිබේ.

ලිපි ගොනු

අල්මාරි කඩා රන් බඩු හා මුදල් එකතු කරන අතරේ ලිපි ගොනු අදිමින් ඒවා පරීක්ෂා කරමින් පැය කිහිපයක් ගත කිරීම සැක සංකා මතු කරන්නක් බවයි මන්දනා ස්මයිල් සංදේශයට කියා සිටියේ.

ඊට දින දෙක තුනකට පමණ පෙර බළල් මළකුණක් නිවසේ දොර පඩිය මත තබා තිබූ බවත් මැරයන් කඩා වැදීමට පෙර දින තම සැමියාගේ වාහනයේ ටයරයක් කපා දමා තිබූ බවත් මාධ්‍යවේදිනී මන්දනා බීබීසියට කියා සිටියාය.

මංකොල්ලය සිදු වන මොහොතේ මන්දනාගේ සැමියා සේවය නිම කර නිවසට පැමිණෙද්දී සැක කටයුතු ලෙස දොරක් සහ ජනේලයක් විවෘතව තිබීම නිසා පොලිස් හදිසි ඇමතුම් අංශය කැඳවා තිබේ.

පොලිස් පරීක්ෂණ

පොලිසිය නිවසට ඇතුළු වීමේදී එක් පොලිස් භටයෙකුද පිහි පාහරකට ගොදුරුවී ඇති අතර ඉන් පසු පොලිසිය සහ මැර කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් හට ගෙන ඇත.

මැර කණ්ඩායමේ එක් සාමාජිකයෙකු වෙඩි වැදී මියගොස් ඇති අතර තවත් සාමාජිකයන් හතර දෙනකු සහ පොලිස් භටයන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සංදේශය කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ප්‍රකාශ කළේය.

මෙය හුදෙක් මංකොල්ලයක් පමණක් බවත් මාධ්‍යවේදිනියගේ වෘත්තීය කටයුතුවලට සබඳතාවක් ඇති බව පෙනෙන්නට නැති බවත් පොලිස් ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන තවදුරටත් කියා සිටියේය.

මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනිය මෑතකදී පිහිට වූ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංගමයේ සභාපතිනිය ලෙසද කටයුතු කරන්නීය.