උගත් පාඩම් නිර්දේශ පිලිබඳ නවී පිල්ලේ විමසයි

Image caption ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කළ යුතු බවට නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය දැඩි ස්ථාවරයක

උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ දැඩි අවධානයට යොමු වී ඇති බව රජයත් ස්වේච්ඡා සංවිධානත් පවසති.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කළ යුතු බවට නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය දැඩි ස්ථාවරයක සිටින බවයි ඇය හමුවූ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ.

දේශපාලන සිරකරුවෝ

මීට අමතරව මුස්ලිම් ප්‍රජාවට එල්ලවන හිරිහැර සහ දේශපාලන සිරකරුවන් චෝදනා රහිතව රඳවා තබා ගැනීම පිළිබඳව ද මහ කොමසරිස්වරිය, රවුෆ් හකීම් ඇමතිවරයාගෙන් විමසා තිබේ.

මෑතකදී පිහිටුවන ලද නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය අධිකරණ හෝ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතට ගත යුතු බවයි නවී පිල්ලේ ගේ මතය වී ඇත්තේ.

මහ කොමසාරිස්වරිය අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් සහ නීතිපති පාලිත ප්‍රනාන්දු හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

භාෂා කොමිසම

භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ භාෂා කොමිසම විමධ්‍යගත කිරීම පිළිබඳව නවී පිල්ලේ තමාගෙන් විමසා සිටි බව ජාතික ඒකාග්‍රතා අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයට කියා සිටියේය.

වෛරය මතු කරවන ප්‍රකාශන තුළින් ඇතිවන ආතතිය පිළිබඳව ද කොමසාරිස් වරිය සිය අවධානය යොමු කළ බව වාසුදේව අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව තමා සතුටු වන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයට කියා සිටියේ.

පොලිස් කොමිසම

මේ අතර නවී පිල්ලේ කොමසාරිස්වරිය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතවරුන් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ස්වාධීන පොලිස් කොමිසම, නීතියේ ආධිපත්‍යය සහ හමුදාකරණය පිළිබඳව කොමසාරිස් වරිය මෙහිදී සාකච්ඡා කළ බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු බීබීසියට කියා සිටියේ.

රාජ්‍ය නොවන සංවිධාන දැඩි විවේචනයට ලක් කිරීම සඳහා රජය විසින් රාජ්‍ය මාධ්‍ය යොදා ගනු ලැබීම පිළිබඳව ද නවී පිල්ලේ දැනුවත් කළ බව පී සරවනමුත්තු තව දුරටත් සඳහන් කළේය.

මෙම හමුවේදී බහුජන සංවිධාන හතලිස් පහකට වැඩි ප්‍රමාණයකගේ අත්සනින් යුත් ලියවිල්ලක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට භාර දී තිබේ.