සවුදි අරාබියේදී දියණියගේ මරණය සැක සහිතයි - ඥාතීන්

සවුදි අරාබියේදී වස බී සිය දිවි නසාගත් බව පවසන මඩකලපුවේ, ඕමදියාමඩු ප්‍රදේශයේ වාසය කළ යෝගේෂ්වරන් ශාන්ති ගෘහ සේවිකාවගේ මරණය සැක සහිත බව ඇයගේ ඥාතීහු පවසති.

විසි හතර හැවිරිදි එම තරුණිය පසුගිය ජූලි විසි හය වැනි දින සිය දිවි නසාගත් බව ඥාතීන්ට දැනුම් දී ඇති අතර ඇයගේ මලසිරුර ඔවුන්ට ලැබී තිබෙන්නේ ඉන් සති පහකට පසුවයි.

සිය දිවි නසා ගැනීමට සිය දියණියට කිසිදු හේතුවක් නොතිබුණු බව පවසන යෝගේෂ්වරන් ශාන්තිගේ පියා, සීනිතම්බි යෝගේෂ්වරන්, මරණය සක සහිත බව පවසමින් පොලිසියට පැමිණිලි කළ බව බීබීසී සංදේශයට කියා සිටියේය.

මලසිරුරේ තුවාල

තරුණියගේ සිරුරේ තුවාල තිබූ බව මෘත දේහය විවෘත කළ අවස්ථාවේ දක්නට ලැබුණු බවයි, ගමේ සමාජ සේවිකාවක වන ඉන්දුමතී කරුණානිධි පවසන්නේ.

"හපා කාපු තුවාල තිබුණා. නියපොතුවලින් සීරුණු තුවාල තිබුණා. බෙල්ල හරියේ තද කළා වගේ සලකුණු තිබුණා," යනුවෙන් ඇය එම තුවාල සංදේශයට විස්තර කළේය.

"ලිංගේන්ද්‍රියේත් විස්තර කරන්න බැරි විදියේ තුවාල තිබුණා."

තරුණියගේ මරණය සැක සහිත බව ඥාතීන් පවසන්නේ නම්, අදාළ පරීක්ෂණ සඳහා පහසුකම් සැපයීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.