එල්ටීටීඊ යේ තවත් පිරිසක් නිදහස්

යුද හමුදාව යටතේ පුනරුත්ථාපනය වූ තවත් එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් එකසිය හත් දෙනකු නිදහස ලද බව රජය ප්‍රකාශ කරයි.

ඔවුන් නිදහස් කිරීම නිමිත්තෙන් වව්නියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවති උත්සවය පැවැත්වුණේ මානව සම්පත් සංවර්ධනය කිරීමේ කටයුතු භාර ඇමති ඩිව් ගුණසේකර ගේ ප්‍රධානත්වයෙනි.

තවමත් සිරගත් කොට සිටින එල්ටීටීඊ සැකකරුවන් පිළිබඳව සංදේශය කළ විමසීමකදී ඇමති ඩිව් ගුණසේකර කියා සිටියේ අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව සාක්ෂි නොමැති නම් ඔවුන් ද නිදහස් කරනු ඇති බවයි.

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත භාර වූ එල්ටීටීඊ යේ හිටපු සාමාජික සාමාජිකාවන් 11,562 ක් සමාජ ගත කර ඇති අතර තවත් දෙසිය තිස් අට දෙනෙක් පුනරුත්ථාපනය වෙමින් සිටින බවත් පුනරුත්ථාපන කොමසාරිස්, මේජර් ජෙනරාල් ජගත් විජේතිලක ප්‍රකාශ කළේය.

එල්ටීටීඊ යේ හිටපු සාමාජික සාමාජිකාවන් ඉදිරිපත් කළ විවිධ සංස්කෘතික අංග වලින් මෙම උත්සවය හැඩ ගැන්වී තිබුණු බවයි ජිනසේන රතුගමගේ වාර්තා කළේ.