ත්‍රිකුණාමල සිසු ඝාතනය යළි උසාවියට

  • 2013 සැප්තැම්බර් 9
Image caption මළ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට සාක්ෂි

හත් වසරකට ඉහත දී ත්‍රිකුණාමලයේ දී සිසුන් පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ චෝදනා ලබන පොලිස් නිලධාරීන් ඇතුළු භට පිරිසක් අද අධිකරණය හමුවට ගෙන එනු ලැබිණි.

මින් ඉහත දී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු නමුත් මෙම සියලු දෙනා චෝදනාවලින් නිදහස් විණි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරි වී ඒ එස් පෙරේරා, පොලිස් පරීක්ෂක ජී ඒ එම් විජිත කුමාර සහ උප පොලිස් පරීක්ෂක වරුන් වන එම් ජී ජයලත්, පී ජී ආනන්ද පුලිනවැව ඇතුළු දහ තුන් දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව යළි පවරා තිබේ.

'අතේ ම පුපුරා යාම'

සිසුන් පස් දෙනා අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කිරීමේ දී එය ඔවුන් 'අතේ ම පුපුරා යාම' නිසා මෙම මරණ සිදු වූ බවයි පෙර පරීක්ෂණයේ දී ප්‍රකාශයට පත් වී තිබුණේ.

නමුත් මළ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට සාක්ෂි ඉදිරිපත් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව යළි පරීක්ෂණයක් පවත්වන ලෙසට මානව හිමිකම් සංවිධාන වලින් රජයට බලපෑම් එල්ල විය.

මනෝහරන් රජිහර්, යෝගරාජා හේමචන්ද්‍ර, ලෝගිදරාජා රෝහන්, තංගදුරෙයි සිවානන්දා සහ ශන්මුගරාජා ගජේන්ද්‍රන් යන විසි වියැති තරුණයන් පස් දෙනායි ත්‍රිකුණාමලයේ වෙරළබඩ ගාන්ධි ප්‍රතිමාව අසල දී 2006 ජනවාරියේ දී ඝාතනයට ලක්වුයේ.

පැමිණිල්ලේ සාක්ෂි කරුවන් තිස් හය දෙනාගෙන් දහ අට දෙනෙකු කැඳවා තිබුනත් අධිකරණයට පැමිණ සිටියේ තිදෙනකු පමණි.