ආගමික ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් රටේ නීතියක් නැහැ - ජාතික සංඝ සම්මේලනය

  • 2013 සැප්තැම්බර් 13

ආගමික ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් රටේ නීතියක් නැතැයි ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියෝ ප්‍රකාශ කරති.

ජාතික සංඝ සම්මේලනය, නීති සම්පාදනය කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කර ඇති බවයි දයාවංශ හිමියෝ අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අසලදී තවදුරටත් කියා සිටියේ.

අනවසර ලෙස ක්‍රියාත්මක වන ආගමික ආයතන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සදහා රටේ පවත්වනා නීති ප්‍රමාණවත් බවයි උන්වහන්සේ පවසන්නේ

හෝමාගම ප්‍රදේශයේ කිතුනු මධ්‍යස්ථානයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විභාගයට ගත් අවස්ථාවේදී ජාතික සංඝ සම්මේලනයේ සාමාජිකයෝ නිහඬ විරෝධතාවකට එක්වර සිටියහ.

අධිකරණය, එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි පාදුක්ක පුරාන විහාරාධිපති පිටිපන සීලවංස හිමියන් අතුලු සැකකරුවන් පස් දෙනකු රුපියල් 50,000 ක පුද්ගල අප මත මුදා හැරීමට නියෝග කෙරිණ.

පාදුක්ක පොලීසිය අධිකරණයට වාර්තාවක් සපයමින් කියා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බවයි.

විත්තියේ නීතිඥයන් අධිකරණයට පැවසුවේ පහරදීමට ලක්වූ බව පැවසෙන කිතුනු යාඥා මධ්‍යස්ථානය නීති විරෝධී ආකාරයට පවත්වා ගෙන යන බවත් එමගින් බෞධයන් බලහත්කාරයෙන් හරවා ගැනීමක් සිදු කෙරෙන බවයි.

නීති විරෝධී ආකාරයට යාඥා මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කළ පහර දීමට ලක් වූ එම මධ්‍යස්ථානයේ දේව ගැති ඒ.කේ.ප්‍රියන්ත රුපියල් 50,000 ක පුද්ගල ඇප මත මුදා හැරීමට ද අධිකරණය විසින් නියෝග කරන ලදී.