'සීතා මං අවා'ට වාරණයක් නැහැ

  • 2013 සැප්තැම්බර් 16

පසුගිය සතියේ තිරගත වීම ආරම්භ වූ ‘සීතා මං ආවා’ චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා දුන් අවසරය යළි සලකා බැලීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව පාලනය කළ රාවණා රජු ඇතුළු හින්දු භක්තිකයන් අදහන රාමායනයේ චරිත මෙම චිත්‍රපටයෙන් අපහාසයට ලක් වන බව පවසන රාවණා බලකාය එම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා දුන් අවසරය යළි සලකා බලන ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙත පෙත්සමක් ඉදිරිපත් කළේය.

මේ පිළිබඳ ව සංදේශය වෙත අදහස් දැක්වූ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකර කියා සිටියේ යම්කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉල්ලු පමණින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම අත්හිටු විය නො හැකි බවයි.

'පෞද්ගලික මතයක්'

චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවසර දී ඇත්තේ රැඟුම් පාලක මණ්ඩලය සතු බලතලවලට අනුව පවතින සියලු නීතිමය තත්වයන ට අදාළ ව නිර්මාණය සමස්තයක් ලෙස සැලකිල්ලට ගැනීමෙන් පසුව බව පවසන සභාපතිවරයා මෙම චිත්‍රපටය රාවණා සංකල්පයට පටහැණි යයි පැවසීම පෞද්ගලික මතයක් බැවින් ඒ අනුව ක්‍රියා කිරීම කල නො හැකි බව ද අවධාරණය කරයි.

කිසියම් සංවිධානයක් රැඟුම් පාලක මණ්ඩලයේ තීරණයට එකඟ නො වන්නේ නම් ඔවුන්ට අධිකරණයට යාමේ හැකියාව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර