අධිකරණ තීන්දුවට එරෙහිව බංග්ලාදේශයේ දරුණු ගැටුම්

බංග්ලාදේශයේ ගැටුම්
Image caption වහනවලටත් අලාභානි

බංග්ලාදේශයේ විශාලතම මුස්ලිම් පක්ෂය වන “ජමායතේ ඉස්ලාමි” පක්ෂය විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අතරතුර බංග්ලාදේශයේ නගර පුරා කලහකාරී ගැටුම් හට ගෙන ඇත.

දකුණු බංගලාදේශයේ “නොආඛාලි” ප්‍රදේශයේ දී විරෝධතා පවත්වන්නන් විසින් එල්ල කෙරුණු ගල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගිය බව පොලිසිය පවසයි.

මේ අතර නිරිත දිග බංග්ලාදේශයේ “ෂත්ඛිරා” දිස්ත්‍රික්කයේ දී ද පොලිසිය හා කලහකාරී පිරිස් අතර ගැටුමක් ඇතිවී ඇත.

රබර් උණ්ඩ හා කඳුළු ගෑස් යොදාගනිමින් පොලිසිය එය මැඩපැවැත්වීමට උත්සහ කල අවස්ථාවේදී සිය ගණනක් වූ විරෝධතා පවත්වන්නන් පෙට්රෝල් බෝම්බ වලින් පෙරලා පොලිසියට පහර දෙමින් රථවාහන වලටද අලභහානි කර ඇත.

මෙම ගැටුම් හට ගෙන ඇත්තේ පක්ෂ නායකයෙක් වන අබ්දුල් කාදර් මොල්ලාහ් ට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසුවයි.

මෙම නව තීන්දුව ප්‍රකාශයට පත්වී ඇත්තේ “මොල්ලාහ්” විසින් 1971 බංග්ලාදේශ නිදහස් සටන පැවති සමයේ දී කෙරුණු අපරාධ වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින් සිටියදීය.