ශ්‍රී ලාංකික හමුදා නිලධාරියකුට ස්ත්‍රී දුෂණ චෝදනාවක්

  • 2013 සැප්තැම්බර් 18
හයිටියේ ශ්‍රී ලංකා හමුදාව

හයිටි රාජ්‍ය තුල සේවයේ යෙදී සිටින සාමසාධක හමුදාවන්ට අයත් ශ්‍රී ලංකික හමුදා නිලධාආරියකුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනාවක් යටතේ පරීක්ෂණ ආරම්භවී ඇත.

හයිටි පොලිසිය පවසන අන්දමට 18 හැවිරිදි තරුණියකුයි මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් විසින් කළ බවට වාර්තා වන ලිංගික අතවර කිරීම් අතර මෙය අලුත්ම සිදුවීමයි.

දැඩි ක්‍රියාමාර්ග

හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ප්‍රකාශිකා සොෂි බුතදොලකොව් සංදේශයට පැවසුවේ එවැනි චෝදනාවක් පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති අතර දැනටමත් පරීක්ෂණයක් අරඹා ඇති බවයි.

ලිංගික අතවර පිළිබඳව සිය සංවිධානය ඉතා දැඩි ලෙස ක්‍රියාකරන්නේ යයිද එම ප්‍රකාශිකාව අවධාරණය කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙරෙණ පරීක්ෂණයට අමතරව ශ්‍රී ලංකා හමුදාව විසින් ද වෙනම පරීක්ෂණයක් ක් අරඹා ඇති බව යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය පැවසුවේය.

මෙවන් සිදුවීමක් පිලිබඳ නිල දැනුම් දීමක් තමාවෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙතෙක් සිදුකරනැති අතර හයිටියේ සිටින හමුදා බලධාරීන් විසින් අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරන බවද හමුදා ප්‍රකාශකයා අවධාරණය කර සිටියේය.