මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් රටින් පිටව යයි

  • 2013 සැප්තැම්බර් 18

'සන්ඩේ ලීඩර්' පුවත්පතේ සම කර්තෘ මන්දනා ඉස්මයිල් අබේවික්‍රම දිවයිනෙන් පිටව යයි.

ඇය මෙසේ විදේශ ගත වන්නේ ගිනි අවි සහ පිහි අතැතිව මැර කණ්ඩායමක් සිය නිවසට රාත්‍රියේ දී කඩා පැනීමෙන් සති තුනකට පසුවයි.

තර්ජන

මන්දනා ඉස්මයිල් අබේවික්‍රමගේ විදේශගත වීම, මාධ්‍යවේදීන්ට එරෙහිව දිගටම එල්ල වන තර්ජන හා අඩන්තේට්ටම් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසටයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මාස කිහිපයකට රටින් පිටව යන නමුත් ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනීය බීබීසී යට පැවසුවේ.

පුද්ගලික ආරක්ෂාව

තම පුද්ගලික ආරක්ෂාව සඳහා පවුලේ සාමාජිකයන් ද කැටුව ඇය දිවයිනෙන් බැහැරව ගිය බව මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනිය ගේ නීතිඥයා පැවසුවේය.

මන්දනා ස්මයිල් අබේවික්‍රම ගේ නිවසට අගෝස්තු 24 වැනිදා අලුයම දෙකට පමණ ගිනි අවි සහ පිහි අතැති පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ඇතුළු වී ඇගේ මුහුණට පහර දී පසුව ඇයත්, ඇගේ දස හැවිරිදි දියණියත්, දෙමව්පියනුත් බිය වද්දා පැය තුනක පමණ කාලයක් ලිපි ගොනු අදිමින් නිවසේ රැඳී සිටියහ.