එල්.ටී.ටී.ඊ. සන්නද්ධ නායක පදුමන් නිදහස්

  • 2013 සැප්තැම්බර් 18

ත්‍රීකුණාමලය හිටපු එල්.ටී.ටී.ඊ. සන්නද්ධ නායක, ශිව සුබ්‍රමනියම් වර්ධනාදන් හෙවත් පදුමන්ට එරෙහිව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ගොනු කර තිබු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කෙරේ.

වසර දෙකක කාලයක් මෙම නඩුව විභාග කෙරිණ.

ඔහුට එරෙහිව නඩු පවරා තිබුණේ ,2001 වසරේ අවසන් මාස හය තුළදී ත්‍රිකුණාමලය පාලම්පටාර් කොටි කඳවුරේ සිට යුද හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කිරීම හා සෙබළුන් මරා දැමීම සහ ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම යන චෝදනා යටතේයි.

සාක්ෂි

ඔහුගේම පාපොච්චාරණය හැරුණ විට වෙනත් සාක්ෂි නොමැති බව සැලකිල්ලට ගනිමිනුයි ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු ආර්.අමල් රණරාජා, පදුමන් නිදොස් කොට නිදහස් කළේ.

නඩු විභාගයෙන් අනතුරුව පදුමන්ගේ ඡායාරූපයක් ගැනීමට මාධ්‍යවේදීන් අධිකරණය ඉදිරිපිට බලා සිටිය ද පසුව අනාවරණය වී ඇත්තේ ඔහු උසාවියේ වෙනත් දොරටුවකින් පිටව ගොස් ඇති බවයි.

ත්‍රීකුණාමලය, පාසල් පාරේ පදිංචිකරුවකු වන පදුමන් යුද්ධයේ අවසන් භාගයේ දී හමුදාවට භාර වූ අයකු ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයේ තොරතුරු මගින් කියවේ.