නැගෙනහිර පළාත් සභාවට වසරයි: 'කළ දෙයක් නැහැ'

Pilleyan with the President
Image caption පළාතේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාකිරීමට අපොහොසත් වී ඇති බව හිටපු මහ ඇමති පවසයි

ගතව ගිය වසරක කාලය තුළ නැගෙනහිර පළාත් සභාව ජනතා අභිලාෂයන් ඉටුකිරීමට අසමත් වී ඇති බවට පළාත් සභාවේ ආණ්ඩුපක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.

වර්තමානයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) කියා සිටියේ පෙර ධුර කාලය සමඟ සලකා බලන විට යම් නිශ්චල භාවයක්, කඩිසර නොවන ස්වභාවයක් දකින්නට තිබෙන බවයි.

යුද්ධය අවසන් වූ වහාම පිහිටු වූ නැගෙනහිර පළාත් සභාවේ පළමු ධුර කාලය තුල දී මුදල් ප්‍රතිපාදන හා විදේශ ආධාර ගලා ඒම හේතුවෙන් ඇසට පෙනෙන සංවර්ධනයක් දකින්නට තිබුණු බව ඔහුගේ අදහසයි.

'විනිවිද භාවයක් නැහැ'

මුදල් නිසි ලෙස කළමනාකරණය නො කිරීම, ඉඩම් සම්බන්ධ අභ්‍යන්තර බලය ප්‍රයෝජනයට නො ගැනීම මෙන් ම පත්වීම් ලබා දීම, මුදල් ප්‍රතිපාදන හැසිරවීම වැනි කටයුතු වල දී අමාත්‍ය මණ්ඩලය විනිවිද භාවයකින් තොර ව පක්ෂපාතී ව කටයුතුකරන බවට දෙමළ ජාතික සංවිධානයේ ආර් තුරෙයිරත්නම් චෝදනා කරයි.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පළාත් සභා මන්ත්‍රී රාම්ලාන් අන්වර් ප්‍රකාශ කළේ, මුස්ලිම් ජාතිකයකු මහ ඇමතිවරයා වීමෙන් තම සමාජ සංස්කෘතික ප්‍රශ්න සහ ඉඩම් ප්‍රශ්න ද විසඳා ගත හැකිවේ යැයි යන මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය දැන් වෙනස් වී ඇති බවයි.

මුස්ලිම් ජාතික ඇමතිවරුන් හතර දෙනෙකු සහ සිංහල ඇමතිවරයෙකුගෙන් සමන්විත පළාත් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශක එම්එස් උදුමා ලෙබ්බෙයි ඇමතිවරයා පැවසුවේ ඇතැම් පළාත් සභා ක්‍රියාකාරකම් වල ප්‍රමාදයක් තිබුණ ද, ජාතික සමගිය සහ සංවර්ධන කටයුතු වල දී ජනතා අභිලාෂයන් ඉටු වන පරිදි ජාති භේදයකින් තොරව පළාත් සභාවේ කටයුතු පවත්වා ගෙන යන බවයි.