සවුදි ගිය අම්මා කෝ? - පුතාගෙන් බලධාරීන්ට ලියුමක්

අනූ ලක්ෂාන් ආත්තම්මා සමඟ
Image caption 'පිට රට ගිය අම්මත් නෑ. තාත්තා වෙඩි කාල මැරුණා. මට දැන් අම්මත් නෑ, තාත්තත් නෑ'

මීට වසර තුනකට ඉහතදී සවුදි අරාබියේ ගෘහ සේවයට ගිය සිය අම්මා සොයා දෙන මෙන් අම්පාරේ පෙරියනීලාවනෙයි හි වෙසෙන හය හැවිරිදි දරුවකු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

2010 වසරේ ඔක්තෝබර් මාසයේ දමාම් නගරයේ නිවසක සේවයට ගිය අම්මා එවක් පටන් වසර දෙකක කාලයක් තමන්ට දුරකතනයෙන් අමතමින් සිටි නමුත්, ඉන් අනතුරුව හදිසියේම එම ඇමතුම් නතර වූ බවයි අනූ ලක්ෂාන් දරුවා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට යවා තිබෙන ලිපියක සඳහන් වෙන්නේ.

මේ පිළිබඳව රැකියා ඒජන්සියේ නියෝජිතයාගෙන් විමසීමක් කළ විට සිය අම්මා, කනපති සුගන්දිනී, 29, යලි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඔහු දැනුම් දුන් බවද එම ලිපියේ සඳහන්.

"පිට රට ගිය අම්මත් නෑ. තාත්තා වෙඩි කාල මැරුණා. මට දැන් අම්මත් නෑ, තාත්තත් නෑ," බවයි, ලක්ෂාන් දරුවා සංදේශයට කියා සිටියේ.

ඔහු දැන් ජීවත්වන්නේ ආත්තම්මා සමඟයි.

සුගන්දිනී ලක්ෂාන් දරුවා ලැබීමට නියමිතව සිටියදී ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරුණා පාර්ශවයේ සාමාජිකයන් විසින් ඔහුගේ පියා රැගෙන ගිය බවත් ඉන් අනතුරුව කවුරුන් විසින් හෝ පියාට වෙඩි තබා මරා දමා තිබුණු බවත් ඥාතීහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර