දෙජාස සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සුදානම් - සුසිල් ප්‍රේම්ජයන්ත්

ඇතැම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් උතුරේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කල ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය උතුරේ මැතිවරණයට තරග කිරීම ගැන විවිධ දේශපාලන පක්ෂ විවිධ කතා කීවත් උතුරට සිංහල මුස්ලිම් නියෝජනය ලැබී ඇත්තේ එසේ තරග කිරීම නිසා බවයි අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ.

සහයෝගය

උතුරු පළාතේ ජනතාව ලබා දුන් තීන්දුව පිළිගෙන දෙමළ ජාතික සන්ධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සුදානම් බවද අමාත්‍යවරයා පැවසුවේය.

හමුදා සාමාජිකයන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණු බවට එල්ල කෙරෙන චෝදනාවත්, දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවක ගේ නිවසට පහර දුන් පිරිස අතර ආරක්ෂක හමුදා සාමාජිකයන් සිටි බව තමන්ට සියයට, එක සිය එකක සහතික යයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමක් කල ප්‍රකාශය ගැනත් රජයේ මතය කුමක් දැයි සංදේශය අමාත්‍යවරයාගෙන් මෙහි දී විමසුවා

මහනුවර වැඩිම මනාප ගත අග්‍රාමාත්‍ය පුත් අනුරාධ ජයරත්න හා කුරුණෑගල ල 2 වැනියට මනාප ගත් ජොහාන් ප්‍රනාන්දු කිසිම තනතුරක් නොලැබීම ගැන මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට ඇමතිවරයා පැවසුවේ පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ඉහලම මනාප ලබා ගත් අපේක්ෂකයන්ට පවා නියෝජ්‍ය ඇමතිධුර හෝ අමාත්‍යධුර ලබා දී නැති බවයි.

විරෝධය

මහා ඇමතිකම නොලැබීම නිසා ඊයේ මහනුවර දී අනුරාධ ජයරත්න ගේ අධාරකරුවන් ඊට තම විරෝධය පළ කර පෙළපාලියක් යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ එයට පිළිතුරු ලබා දුන් අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ.සෙනවිරත්න පැවසුවේ එම ස්ථානයේ පැවැත්වුනේ විරෝධතාවක් නොව පිළිගැනීමේ උත්සවයක් බව අග්‍රාමාත්‍යවරයා තමාට පැවසූ බවයි.

මැතිවරණයට වෙනම තරග කල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර පක්ෂ වල ජයග්‍රාහි අපේක්ෂකයන් සමග ගත් විට ආණ්ඩුවට මධ්‍යම හා වයඹ පළාත් දෙකේම තුනෙන් දෙකක (2/3) මන්ත්‍රී බලයක් ලැබී ඇති බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ.