මන්නාරමේ බෝට්ටුවක් පෙරළීමෙන් හතර දෙනෙක් ජීවිතක්ෂයට

මන්නාරම පුත්තලම අතර පිහිටි පලුකාතුරේ මුහුදු ප්‍රදේශයේ දී බෝට්ටුවක් පෙරලීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි සිලාවතුර පොලීසිය පවසයි.

මාලඹේ සහ හෝකන්දර වැනි ප්‍රදේශවල සිටි පැමිණි සංචාරක කණ්ඩායමක් විනෝදයට බෝට්ටුවකින් මුහුදු ගොස් ආපසු එමින් සිටිය දීයි මේ අනතුරට ගොදුරු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

නාවික හමුදාවට බෝට්ටුවක් පෙරලී ඇති බවට අද, සෙනසුරාදා උදේ දැන ගන්නට ලැබුණු බව පැවසූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝශල වර්ණකුලසුරිය පැවසුවේ දිවි බේරා ගත් හය දෙනකු ගොඩට පැමිණි සිටි බවයි.

නාවික හමුදාව යන විට හතර දෙනකු මිය ගොස් සිටි බව පැවසූ ඔහු, ඒ අතර කාන්තාවන් තිදෙනකු ද සිටි බවයි කියා සිටියේ.

කුඩා දරුවකු අතුරුදහන් වී සිටි බව දැනුම් දී තිබූ නිසා පසුව එම දරුවා ද සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝශල වර්ණකුලසුරිය පැවසුවේය.

දෙදෙනකු රෝහල් ගත කොට සිටින බවයි පොලීසිය පැවසුවේ.

අතුරුදහන්

ඊයේ, සිකුරාදා සිලාවතුර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් තුන් දෙනකුගෙන් දෙදෙනකු මේ දක්වා අතුරුදහන් වී ඇති බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් සිලාවතුර පොලීසිය පැවසුවේය.

දිවි ගලවා ගෙන පැමිණි ධීවරයා මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.