තරුණයන් අතුරුදහන් වීමේ සිද්ධියට සාක්ෂි දීමට හිටපු නාවික හමුදාපති

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, දමිළ ජාතික තරුණයන් පස් දෙනකු අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වෙත නොතීසි නිකුත් කරයි.

හිටපු නාවික හමුදාපතිවරයා මෙසේ කැඳවා ඇත්තේ 2008 වසරේ කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි දමිළ ජාතික තරුණයන් පස් දෙනකු අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා සාක්ෂි දීමටයි.

අතුරු දහන් වී සිටින තරුණයන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්න යි ඉල්ලා ඔවුන්ගේ දෙමව්පියන් ගොනු කළ පෙත්සමක් අධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවාදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයා කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

විශේෂ පරීක්ෂණයක්

පසුගිය 2008 වසරේ දී බම්බලපිටිය ප්‍රදේශයේදී අතුරුදහන් වූ බව පැවසෙන මෙම තරුණයන් පස් දෙනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නියෝගයක් මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

එම පරීක්ෂනයෙදී අතුරුදහන් වී සිටින තරුණයන්ගේ දෙමාපියන් විසින් ද සාක්ෂි ඉදිරිපත් කොට ඇත.

සම්බන්ධයක්

එම සාක්ෂි විශ්ලේෂනයකිරීමෙදී අදාළ පැහැර ගැනීමේ සිද්ධියට නාවික හමුදාවේ සම්බන්ධයක් පවතින බවට විශ්වාස කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති බවයි පෙත්සම් කාර පාර්ශවයේ නීතිඥයා දැනුම් දී තිබෙන්නේ.