වැලිවේරිය සම්මුතිය 'කූට උපක්‍රමයක්'

Army in Weliweriya (file photo)
Image caption "ජනතා විරෝධය නොතකා කම්හල පවත්වාගෙන යාමේ අටියෙන් කම්හල් බලධාරීන් කූට උපක්‍රමයක"

රතුපස්වල වෙනිග්‍රොස් කම්හල වසා දැමීම පිණිස අප්‍රේල් මාසය දක්වා කල් දෙන මෙන් කම්හල් පාලකයන් කළ ඉල්ලීම කම්හල දිගටම පවත්වා ගෙන යාමේ උපක්‍රමයක් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ලබන අප්‍රේල් මාසය දක්වා කම්හලේ වැඩ කටයුතු පවත්වාගෙන යාමටත්, ඉන් අනතුරුව කම්හල වසා දැමීමටත් තෙරිපැහැ සිරිධම්ම හිමියෝ සහ කම්හල් බලධාරීහු බ්‍රහස්පතින්දා එකඟත්වයකට පැමිණියහ.

එහෙත් එය කම්හල දිගටම පවත්වාගෙන යාමේ උපක්‍රමයක් බව පවසමින් කම්හල ඉදිරිපසට රැස් වූ ප්‍රදේශවාසීන් දහසක් පමණ උද්ඝෝෂණයක නිරත වූ බව නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි ප්‍රදේශවාසියෙක් බීබීසී සංදේශයට පැවසීය.

විශේෂයෙන්ම අප්‍රේල් මාසය වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවත්, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය මෙන්ම බස්නාහිර පළාත් සභා මැතිවරණයද අවසන් වන බැවින්, ඉන් අනතුරුව ජනතා විරෝධය නොතකා කම්හල පවත්වාගෙන යාමේ අටියෙන් කම්හල් බලධාරීන් 'කූට උපක්‍රමයක' යෙදෙන බව ගම්වාසීන්ගේ මතය බවද ඔහු සඳහන් කළේය.

"මේ ඔක්කොම ඉවර වෙන කම් නිෂ්පාදන කටයුතු කරන්න දුන්නට පස්සේ කොහොමත් දිගටම මර්ධනකාරී විදියට කොම්පැණිය පවත්වා ගෙන යයි කියන හැඟීම තමයි මිනිස්සුන්ගේ තියෙන්නේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් අදාළ ගිවිසුමෙන් ඉවත් වන බව සිරිධම්ම හිමියන් කම්හල් බලධාරීන්ට දැනුම් දී තිබේ.