ශ්‍රී ලංකාවට අපහාසයක් වුනා නම් කණගාටුයි - මනිලාල්

Manilal Fernando
Image caption 'ඇත්ත වශයෙන්ම හද පත්ලෙන්ම කණගාටු වෙනවා. කවදාවත් මම ශ්‍රී ලංකා පාපන්දුවලට කැළලක් ඇතිකරන්න මගේ අදහසක් තිබුනේ නෑ'

ලෝක පාපන්දු සම්මේලනයෙන් තමන්ට ලැබුණු ජීවිතාන්තය දක්වා තහනම නිසා ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට කැළලක් සිදුවූ බව යමෙක් පවසන්නේ නම් ඒ පිළිබඳව සිය කණගාටුව පළ කරන බව හිටපු ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී සහ ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු විධායක කමිටු සාමාජික මනිලාල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

"ඇත්ත වශයෙන්ම හද පත්ලෙන්ම කණගාටු වෙනවා. කවදාවත් මම ශ්‍රී ලංකා පාපන්දුවලට කැළලක් ඇතිකරන්න මගේ අදහසක් තිබුනේ නෑ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

අල්ලස් හා දූෂණ, තෑගි හා ප්‍රතිලාභ ගැනීම හා චර්යාමය නීති කැඩීම් ඇතුළු චෝදනා ගණනාවක් යටතේ මනිලාල් ප්‍රනාන්දුට පණවා තිබූ අවුරුදු අටක තහනම ෆීෆා ජගත් පාලක මණ්ඩලය විසින් ජීවිතාන්තය දක්වා දිගු කරනු ලැබුවේ එම තීන්දුවට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

එම චෝදනාවලට තමන් නිර්දෝෂී බව ක්‍රීඩා බේරුම්කාර ස්වාධීන අධිකරණයකට ගොස් ඔප්පු කරන බවයි, මනිලාල් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ.

මොහමඩ් බින් හමාම්

"ඒ සම්බන්ධයෙන් ස්වාධීන ක්‍රීඩා අධිකරණයක් වන CAS එකට ඇපෑලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අඩු ගානේ එතනට ගියාම මට යුක්තියක් ඉටුවේවි කියල," ඔහු පැවසීය.

2011 වසරේද ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට තරඟ කළ හිටපු ආසියානු පාපන්දු ප්‍රධානී මොහමඩ් බින් හමාම් සමග තමන් පැවැත්වූ කිට්ටු හිතවත්කම මෙසේ තමන්ට චෝදනා එල්ලවීමට ප්‍රධානම හේතුව බවයි, මනිලාල් ප්‍රනාන්දු පවසන්නේ.

ලෝක පාපන්දු සභාපති ධුරය වෙනුවෙන් පැවති තරඟයේදී ඡන්ද මිලදී ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාවක් යටතේ මොහමඩ් බින් හමාම්ටද පාපන්දු සම්මේලනයෙන් තහනමක් පැනවිණ.

"මොහමඩ් බින් හමාම් එක්ක මගේ ළඟ මිත්‍රකමක් තිබුණ. මේ ඔක්කොම ඒක සම්බන්ධයෙන් යන දේවල්. එයාට දැන් ලෝක පාපන්දු සම්මේලනයෙන් ජීවිතාන්තය දක්වා තහනමක් දීල තියෙනවා. මම හිතනවා මේක ඊට පිටිපස්සේ යන දෙවැනි පියවර කියල මම."

ලෝක පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් රුපියල් කෝටි පණහක පමණ සුනාමි පාපන්දු ව්‍යපෘති ආධාර නාස්තිකාර ලෙස වියදම් කල බවටද මනිලාල් ප්‍රනාන්දුට වර්තමාන ශ්‍රී ලංකා පාපන්දු බලධාරීන් චෝදනා කොට තිබේ.

'මඩ ගහනවා'

එම චෝදනාව සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවයි, ඔහු සංදේශයට කියා සිටියේ.

"ඒක සම්පුර්ණයෙන් අසත්‍යයක්. තාම ඒක ගැන මට චෝදනාවක් එල්ල කරන්න කාටවත් බැරි වෙලා තියෙනවා. ලංකාවේ ඉන්න පාපන්දු අයට මම කරපු එක හරිද නැද්ද කියල අනාගතේදී පැහැදිලි වේවි."

තමන් සමග එකට සිටි පුද්ගලයන් අද තමන්ට එරෙහි වී මඩ ගසන බව පවසන මනිලාල් ප්‍රනාන්දු පාපන්දු ක්‍රීඩාවට සැබෑ ලෙසම ආදරය කරන පිරිස් පාපන්දු ක්‍රීඩාවට තමන් කළ සේවාව හොඳින් දන්නා බවද කියා සිටියේය.

"1976 ඉඳල අවුරුදු තිස් එකක්, තිස් දෙකක් පාපන්දුවේ හිටිය. මට මඩ ගහන අය මඩ ගහන්නේ මාත් එක්ක ඉඳල කෑම බීම කාල ඔක්කොම ලබල දැන් මට මඩ ගහනවා. ඒක මට ප්‍රශ්නයක් නෑ. මිනිස්සු දන්නවා මේ සිංහල මිනිහ කව්ද කියන එක," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ජගත් පාලක මණ්ඩලය පැනවූ තහනම හේතුවෙන් මනිලාල් ප්‍රනාන්දුට ලෝක හෝ දේශීය පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු ක්‍රියාවක නිරත විය නොහැකිය.