සුරංග පීරිස් නඩුවට දේශපාලන බලපෑම් නෑ -පොලිසිය

සුරංග පීරිස්
Image caption සුරංග පීරිස් ඝාතනය සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගෙන නැති බව පොලිසිය පිළිගනියි

දේශපාලන බලපෑම් හේතුවෙන් සුරංග පීරිස් තරුණ දේශපාලන නායකයා ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ අතරමඟ ඇනහිට ඇතැයි ඥාතීන් නගන චෝදනාව පොලිසිය ප්‍රතික්ෂේප කරයි.

නිට්ටඹුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධානයේ සභාපති සුරංග පීරිස් 2010 ජුනි මාසයේදී, නිට්ටඹුවේදී වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් මේ වන තුරු කිසිම සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැති බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පිලිගත්තේය.

එහෙත් එයට හේතුව පරීක්ෂණ යට ගසන මෙන් දේශපාලන බලවතෙකුගෙන් බලපෑම් එල්ල වීම නොවන බව බීබීසී සංදේශය කළ විමසීමකදී ඔහු අවධාරණය කළේය.

'පාතාලයක් නෑ'

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නිල බලකායේ ප්‍රාදේශීය නායකයකු වූ සිය සොහොයුරා නිට්ටඹුව මංසන්ධියේදී ප්‍රසිද්ධියේ ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණවල තත්වය මෙසේ නම්, ශ්‍රී ලංකාවේ අසරණ ජනතාවට සාධාරණය ඉටු වන්නේ කෙසේ දැයි ජපානයේ සිට සංදේශය සමඟ කතා කළ සුරංග පීරිස් ගේ සොහොයුරා ප්‍රශ්න කරයි.

කිසියම් පාතාල කණ්ඩායම් සාමාජිකයකු වෙඩි තබා මරා දැමුණු බොහෝ අවස්ථාවල සිය සොහොයුරාගේ ඝාතනයට මියගිය පුද්ගලයා සම්බන්ධ බවට පොලිසිය ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන බවද ඔහු කියා සිටියේය.

එහෙත් ශ්‍රී ලංකාවේ පාතාලයක් නැති බව අවධාරණය කරන පොලිස් ප්‍රකාශකවරයා, අදාළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය එවැනි ප්‍රකාශ කරන බවට සුරංග පීරිස්ගේ සොහොයුරා නගන චෝදනාවද ප්‍රතික්ෂේප කළේය.