තමිල්නාඩු යෝජනාව ඉන්දීය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

Salman Khurshid in Jaffna (file photo)
Image caption තමන් සමුළුවට සහභාගි වන බව ශ්‍රී ලංකා සංචාරයේදීද ඇමතිවරයා සනාථ කළේය

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් සනාථ කළේය.

විදේශ අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ, සමුළුව සම්පූර්ණයෙන්ම වර්ජනය කරන මෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතික යෝජනාවක් සම්මත කිරීමෙන් දින කිහිපයකට පසුවයි.

ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශයක් කළ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, තමන් සහභාගි වන බව පමණක් තමන්ට ස්ථිරවම කිව හැකි බවයි.

කරුණානිධිගේ අප්‍රසාදය

කෙසේ නමුත් අගමැති මන්මෝහන් සිං, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හෝ උප ජනාධිපති හමීඩ් අන්සාරි සමුළුවට සහභාගි වන්නේද යන්න තවමත් ප්‍රකාශ කොට නැති අතර, ඔවුන් සහභාගි නොවන්නේ නම් ඉන්දීය දූත මණ්ඩලයේ නායකත්වය දරනු ලබන්නේ විදේශ අමාත්‍යවරයා විසින්ද යන්න පිළිබඳවත් සල්මාන් කුර්ශිඩ් කිසිවක් සඳහන් කළේ නැහැ.

අමාත්‍යවරයාගේ එම තීරණය පිළිබඳව ඉන්දීය සභාග රජයේ හිටපු හවුල්කාරයකු වූ තමිල්නාඩු විපක්ෂ නායක මුතුවේල් කරුණානිධි තම අප්‍රසාදය පළ කොට තිබේ.

පසුගියදා ඉන්දියාවේ විශේෂ සංචාරයක යෙදුන විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් අගමැති මන්මෝහන් සිංට ආරාධනා කළ නමුත්, සමුළුවට සහභාගි වන්නේද නැද්ද යන්න අගමැතිවරයා එහිදී ශ්‍රී ලංකා අමාත්‍යවරයාට දැනුම් නොදුන්නේය.

පසුගිය සතියේ තමිල්නාඩුවේ විපක්ෂනායක එම් කරුණානිධි වෙත ලිපියක් යැවූ අගමැති මන්මෝහන් සිං, සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙරාතුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ පල වන අවධානය සැලකිල්ලට ගන්නා බව සඳහන් කොට තිබුණි.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන බව කැනඩාවේ අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා දැනටමත් නිවේදනය කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර