ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගෘහස්ථ කම්කරුවන් කෝටි පහකට අයිතීන් නැහැ

ලොව පුරා ගෘහස්ථ මෙහෙකරුවන් සේ දිවි ගෙවන සංඛ්‍යාව කෝටි පහ ඉක්මවන බව මෙහෙකාර කම්කරුවන් නියෝජනය කරමින් රටවල් හතළිහකට ආසන්න නියෝජිතයන් ගේ සහභාගීත්වයෙන් උරුගුවේ දී පැවැත්වෙන සමුළුවකදී හෙළිදරව් විය.

එමෙන් දෙගුණයක් ලොව පුරා මෙහෙකාර සේවයේ යොදවා සිටින බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ විශ්වාසයයි.

මෙලෙස සේවය කරන බාල වයස් කාර දරුවන්ගෙන් සියයට හැටක් දිවි ගෙවන්නේ ආසියානු රටවල බව ද උරුගුවේ මොන්ටිවිඩියෝහි දී අගනුවර පැවැත්වෙන සමුළුවේ දී හෙළිදරව් විය.

ජාත්‍යන්තර ප්‍රඥප්තිය

මෙයින් වසරකට ඉහත දී සම්මත වූ ගෘහස්ථ මෙහෙකරුවන් සඳහා වන එක්සත් ජාතීන් ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අත්සන් කරමින් ගෘහස්ථ මෙහෙකාර සේවයේ යෙදෙන්නන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන මෙන් තුන් දින සමුළුවේදී ඉල්ලීමක් කෙරින.

කම්කරු අයිතීන් සහතික කිරීමේ අරමුණින් අනුමත කර ගත් ගෘහ සේවක සේවිකාවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අත්සන් කර ඇත්තේ රටවල් දහයක් පමණි.

ගෘහ සේවක අයිතීන් රැකීමට ඇති ප්‍රධාන බාධකය ඔවුන්ගේ සේවය පිළිබඳ නිල සංඛ්‍යාලේඛන නොමැති වීමයි.

ශ්‍රී ලංකාව මෙම ප්‍රඥප්තිය අත්සන් කර තිබීම තුළ ගෘහස්ථ කම්කරුවන්ගේ තත්වය යහපත් බවට හැරීමේ පදනමක් සැකසී තිබෙන බව ගෘහස්ථ කම්කරුවන් දෙදහසකට අධික පිරිසක් නියෝජනය කරන ශ්‍රී ලංකා ගෘහස්ථ කම්කරු සංගමයේ ප්‍රකාශිකා ආනන්දී සිවසුබ්‍රමනියම් ප්‍රකාශ කරයි.

ගෘහස්ථ සේවකයන්ගේ අයිතීන් පිළිබඳ නව යුගයක ආරම්භය ලෙසයි උරුගුවේහි පැවැත්වෙන මෙම සමුළුව හැඳින්වෙන්නේ.

සමුළුවට සහභාගිවීමට මොන්ටිවිඩියෝ නගරයට පැමිණ සිටි ආනන්දී සිවසුබ්‍රමනියම් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන නව නීති රීති හමුවේ බාල වයස්කාර ළමුන් සේවයේ යෙදවීම මෙන් ම වතුකරයේ දරුවන් ගෘහ සේවයට ගෙන ඒම ඉතා දුර්ලභ බවයි.