අග විනිසුරු ඉවත් කිරීම 'පොදු රාජ්‍ය මණ්ඩලයේ ආචාර ධර්ම උල්ලංඝනයක්'

කමලේෂ් ශර්මා සහ රිචර්ඩ් උකූ
Image caption කමලේෂ් ශර්මා සහ රිචර්ඩ් උකූ

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු ධුරයෙන් ඉවත් කිරීමේ දී අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව බ්‍රිතාන්‍යයේ මුල් පෙලේ නීති විශාරදයකු විසින් සම්පිණ්ඩනය කරන ලද වාර්තාවකින් නිගමනය කොට තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරයාට පෙබරවාරි මස අග දී ලබා දුන් වාර්තාවකයි එම නිගමනය දැක්වෙන්නේ.

ප්‍රසිද්ධියට පත් නො කෙරුණු වාර්තාව

මානව හිමිකම් ක්‍රියාධාරීන් හා ජනමාධ්‍ය වේදීන් ගේ නිරන්තර ඉල්ලීම් හමුවේ පවා ප්‍රසිද්ධියට පත් නො කෙරුණු එම වාර්තාවේ පිටපතක් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් අද හෙළිදරව් කොට තිබේ.

බී.බී.සී.ය ඒ ගැන කළ විමසීමක දී පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශකයා කියා සිටියේ හිටපු අග විනිසුරු වරිය පහ කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මහ ලේකම් කමලේෂ් ෂර්මා දැඩි ස්ථාවරයක සිටින බවයි.

නිර්දේශ

මෙයට අමතරව අධිකරණයේ ඉහල පදවි දරන්නන් සේවයෙන් පහ කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් යහපත් චර්යා වන් හා නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත භාර දී තිබෙන බව ද මෙම කරුණු පිළිබඳ සලකා බලන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබෙන බවද මහා ලේකම් වරයා ගේ ප්‍රකාශක රිචර්ඩ් උකූ කියා සිටියි.

හිටපු අග විනිසුරු වරිය දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කර මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ මේ වසර මුලදී.

ව්‍යවස්ථා විරෝධී

Image caption ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක

ආචාර්ය බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ටාධිකරණය ද තීන්දු කොට තිබුණි.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමනය වී තිබුණි.

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු ධුරයෙන් පහ කිරීම පිලිබඳ රාජ නීතිඥ ජෙෆ්රි ජොවෙල් විසින් පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් වරයා වෙත භාර දුන් වාර්තාවේ වැඩි දුර විස්තර අද සංදේශයේ.