දඹුල්ලේ කාලි කෝවිල කඩා දමයි

දඹුල්ලේ භද්‍රකාලි අම්මාන් කෝවිල සඳුදා රාත්‍රියේ කඩා ඉවත් කිරීමත් සමගින් දකුණු දිග ශ්‍රී ලංකාවේ කාලි කෝවිල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමළ දේශපාලන නායකයෝ බිය පළ කරති.

මීට ඉහත අවස්ථාවක දී ජනාධිපති වරයාගෙන් කෝවිලට ආරක්ෂාව ඉල්ලා සිටි බවයි ආර් යෝගරාජන් මන්ත්‍රීවරයා සහ එන් කුමරගුරුපරන් පළාත් සභා මන්ත්‍රී වරයා නිවේදනයක සඳහන් කොට ඇත්තේ.

‘බෞද්ධ මූලධර්ම වාදීන්’ ලෙස ඔවුන් විසින් හඳුන්වන ලද පිරිසක් දඹුල්ලේ හින්දුන්ගේ සහ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය වෙනස් කිරීමේ උවමනාවෙන් පෙලෙන බවත් මන්ත්‍රී වරු පවසති.

හින්දු කෝවිලේ ආරක්ෂාව සඳහා වන තම ඉල්ලීම ඉටු නොවන්නේ නම් එය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට යොමු කරන බවත් ඔවුන්ගේ ලිපියේ සඳහන් වෙයි.

තමන් ඇතුළු පවුල් හතළිහකට පාරම්පරිකව ජීවත් ව සිටි භූමියෙන් පිටවී යන්නට බල කැරුණු බවයි දඹුල්ල කාලි කෝවිලේ ප්‍රධාන පූජක තුමිය ලක්ෂ්මි අම්මා බීබීසී සංදේශයට කියා සිටියේ.

බලධාරීන් විසින් පොරොන්දු වූ පරිදි කිසිවකුටත් විකල්ප නවාතැනක් ලබා දී නැති බවයි දඹුල්ලේ භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක තුමිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.