පොදු රාජ්‍ය මණ්ඩලයෙන් 'ශ්‍රී ලංකාවට උපදෙස්'

Image caption මහලේකම් කමලේශ් ශර්මා සහ ජනාධිපති රාජපක්ෂ ලන්ඩනයේදී

අධිකරණයේ ඉහල පදවි දරන්නන් සේවයෙන් පහ කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් යහපත් චර්යාවන් හා නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත භාර දී තිබෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි.

මෙම කරුණු පිළිබඳ ව සලකා බලන බවට ශ්‍රී ලංකා රජය සහතික වී තිබෙන බව ද පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශක රිචඩ් උකූ සංදේශයට කියා සිටියේය.

'ව්‍යවස්ථාවට පටහැනියි'

Image caption රාජ නීතිඥ ශ්‍රීමත් ජෙෆ්රි ජොවෙල්

පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි බ්‍රිතාන්‍යයේ රාජ නීතිඥ ශ්‍රීමත් ජෙෆ්රි ජොවෙල් ලබා දුන් වාර්තාවේ සඳහන් වන්නේ අග්‍ර විනිශ්චයකාරවරිය ඉවත් කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාවලිය ස්වභාවික යුක්ති ධර්මයේ අවශ්‍යතා සපුරා නැති හෙයින් එය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි.

මෙහි දී අනුගමනය වූ ක්‍රියා දාමය වසර 2009 දී ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය සාරධර්ම සහ ප්‍රතිපත්ති වලට ද එකඟ නොවන බවයි ශ්‍රීමත් ජෙෆ්රි ජොවෙල් ගේ වාර්තාවේ සඳහන් වන්නේ.

අග විනිසුරු වරිය ඉවත් කිරීම සඳහා සිදු වූ පාර්ලිමේන්තුවේ මැදිහත් වීම තුළින් නීතිය සහ බලය වෙන් කර තැබීමේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බිඳ ඇති බව ද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.

ප්‍රසිද්ධියට පත් නො කෙරුණු වාර්තාව

මානව හිමිකම් ක්‍රියාධාරීන් හා ජනමාධ්‍ය වේදීන් ගේ නිරන්තර ඉල්ලීම් හමුවේ පවා ප්‍රසිද්ධියට පත් නො කෙරුණු එම වාර්තාවේ පිටපතක් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් අද හෙළිදරව් කොට තිබේ.

බී.බී.සී.ය ඒ ගැන කළ විමසීමක දී පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශකයා කියා සිටියේ හිටපු අග විනිසුරු වරිය පහ කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මහ ලේකම් කමලේෂ් ෂර්මා දැඩි ස්ථාවරයක සිටින බවයි.

නිර්දේශ

මෙයට අමතරව අධිකරණයේ ඉහල පදවි දරන්නන් සේවයෙන් පහ කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් යහපත් චර්යා වන් හා නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත භාර දී තිබෙන බව ද මෙම කරුණු පිළිබඳ සලකා බලන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබෙන බවද මහා ලේකම් වරයා ගේ ප්‍රකාශක රිචර්ඩ් උකූ කියා සිටියි.

හිටපු අග විනිසුරු වරිය දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කර මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ මේ වසර මුලදී.

ආචාර්ය බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ටාධිකරණය ද තීන්දු කොට තිබුණි.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමනය වී තිබුණි.