ඉසයිප්‍රියා ඝාතනය ගැන චැනල්4 වීඩියෝව රඟපෑමක් - හමුදාව

ඉසයිප්‍රියා හෙවත් ශෝභා
Image caption ඉසයිප්‍රියාට ලිංගික අතවර කොට මරා දමා ඇති බව චැනල්4 වාර්තාව පවසයි

එල්ටීටීඊ සංවිධානයේ රූපවාහිනී නිවේදිකාවක වූ ඉසයිප්‍රියා හෙවත් ශෝභා අත් අඩංගුවට ගෙන, ලිංගික වද හිංසා කොට මරා දැමූ බවට චැනල්4 නාලිකාව අලුතෙන්ම ඉදිරිපත් කොට තිබෙන වාර්තාව ව්‍යාජයක් බව ශ්‍රී ලංකා හමුදාව පවසයි.

"අපි ජීවග්‍රහණයෙන් අත් අඩංගුවට ගත් 12,000 කට ආසන්න පිරිසක් පුනරුත්තාපනය කොට මේ වන විට සමාජගත කොට තිබෙනවා. කිසිම අවස්තාවක ඉසිප්‍රියා ඒ අතර හිටියේ නැහැ," බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසීයට කියා සිටියේ.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භට පිරිසක් ඇය ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගෙන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ දියණිය දැයි විමසන අවස්ථාවේ, තමන් ප්‍රභාකරන්ගේ දියණිය නොවන බව ඇය දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙන අන්දම චැනල්4 වාර්තාවේ පැහැදිලිව දැක්වේ.

සරත් ෆොන්සේකා

ඉන් අනතුරුව ඉසයිප්‍රියා මරා දමා තිබෙන අන්දමද වාර්තාවට ඇතුලත්. ඇයට ලිංගික අතවර කොට මරා දමා ඇති බවද චැනල්4 වාර්තාව පවසයි.

එහෙත් වීඩියෝ පටයේ සැබවින්ම සිටින්නේ ඉසයිප්‍රියාද, නොඑසේනම් 'කිසියම් රඟ දැක්වීමද' යන්න සනාථ වනු ඇත්තේ විශේෂඥ පරීක්ෂණයකින් පසුව පමණක් බවයි ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හමුදා ප්‍රකාශකවරයා බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේ.

යුද්ධය අවසානයේ හමුදාවට භාර වූ 12,000 ක් එල්ටීටීඊ සාමාජිකයන් අතර ඉසයිප්‍රියාත් සිටියේද යන්න තමන් නොදන්නා බව බීබීසීය කළ විමසීමකදී කියා සිටි එවකට හමුදාපති පදවිය දැරූ ජනරාල් සරත් ෆොන්සේකා, කෙසේ නමුත් භාර වූ සියලු දෙනා සම්බන්ධ සියලු විස්තර යුද හමුදාව සතුව තිබෙන බවද සඳහන් කළේය.

"මම හමුදාපති කාලේ එහෙම චෝදනාවක් ඇවිල්ල තිබුනේ නෑ. මම නායකත්වය දෙද්දී හමුදාවේ ඔය වගේ දේවල් වුනේ නෑ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර