Sandya Eknaligoda
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පීඩාවට පත් පිරිස් හමු වෙන්න - බ්‍රිතාන්‍ය නායකයන්ගෙන් ඉල්ලයි

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීම පිණිස බ්‍රිතාන්‍ය නායකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රටේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වන සමයක යයි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන් බව සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මානව හිමිකම් සංවිධාන සහ තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුණගැසුණු සන්ධ්‍යා පවසන්නේ, ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ චිත්‍රය ඔවුන්ට පහදා දීමට තමන්ට එහිදී අවස්ථාව ලැබුණු බවයි.

බ්‍රිතාන්‍ය නායකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස තමන්ට හැකියාවක් නොමැති බව ලන්ඩනයේ බීබීසී මැදිරියේදී සංදේශයට කියා සිටි ඇය, කෙසේ නමුත් රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට ශ්‍රී ලංකාව සුදුසු නැති බව තම අදහස යයිද කියා සිටියාය.

මානව හිමිකම් උල්ලංඝන වලින් පීඩාවට පත් පිරිස් ශ්‍රී ලංකාවේදී හමු වී ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ තොරතුරු අධ්‍යයනය කරන මෙන් බ්‍රිතාන්‍ය නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටි බවද 2010 සිට ජනවාරි මාසයේ සිට අතුරුදහන් වී සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ පවසයි.

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පත් කොට තිබෙන ජනාධිපති කොමිසම පාරදෘශ්‍යභාවයෙන් තොර වූවක් බවත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් හමුවේ කියා සිටි බවද ඇය සඳහන් කළාය.