ජනපතිගේ ප්‍රතිඥාවට සිවිල් සමාජ ප්‍රසාදය

ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල ජනතා සංසදයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පළ කළ අදහස් යථාර්තයක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන කටයුතු කළ යුතු බව විදේශීය සිවිල් සමාජ ක්‍රියාධරයෝ පවසති.

බ්‍රිතාන්‍යයේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය අනාස් අල්තික්රිති ඒ බව කියා සිටියේ සඳුදා ට්‍රාන්ස් හොටලයේදී පොදු රාජ්‍ය මණ්ඩල ජනතා සැසියේ ප්‍රථම දින සැසිවාරයට සහභාගි වීමෙන් අනනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

මාධ්‍ය නිදහස, සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, මානව සංවර්ධනය වැනි දේ පිළිබඳ ශ්‍රී ලංකාවේ අවධානය යොමු කොට ඇති බවත් ඉදිරි වර්ෂවල එම අංශවලින් වඩාත් ප්‍රගතියක් අත් කර ගැනීමට හැකි වනු ඇති බවත් ජනතා සමුළුවේ සමාරම්භක දේශණය පවත්වමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා පළ කළ අදහස් වලට තම ප්‍රසාදය පිරිනමන බවයි ආචාර්ය අනාස් අල්තික්රිති සංදේශයට කියා සිටියේ.

මාධ්‍යවේදීන්ට අවසර නෑ

ශ්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන වෙනුවෙන් ජනතා සංසදයේදී අදහස් දැක්වූ ජාතික සාම මණ්ඩලයේ ජෙහාන් පෙරේරා සංදේශයට කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රශ්ණ පිළිබඳව තමන් සභාව දැනුවත් කළ බවයි.

ජනතා සංසදයේ සැසිවාරය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොලැබුණු අතර, ජෙහාන් පෙරේරා සමුළුව අමතද්දී ඔහුට බාධා පැමිණුන බව සංදේශයට දැන ගැනීමට ලැබිණ.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ කටයුතු දැඩි ලෙස විවේචනය කරන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සමුළුවට සහභාගි වීමේ අරමුණ කවරක් දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ස්ටීවන් ක්‍රෝෂෝ, ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් මාර්ගයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රබල නිකුත් කරවීම සිය අරමුණ බව පැවසීය.

කෙසේ නමුත් තමන් ශ්‍රී ලංකාවට එරෙහි සංවිධානයක් නොවන බව ඔහු අවධාරණය කළේය.

සමුලුවට එක්ව සිටි බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ සංදේශයට කියා සිටියේ මෙම සමුළුව මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යලි ගොඩ නැගීමට හැකි වනු ඇති බවයි.

එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක කුමාරන් පද්මනාදන්ද සමුළුවට එක්ව සිටින නමුත් මාධ්‍යවලට අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර