බ්‍රිතාන්‍ය අගමැති ලංකාවට ඒම වැදගත් -රනිල්

Ranil Wickramasinghe
Image caption සමුළු වර්ජනය 'ශ්‍රී ලංකා ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා'

පොදු රාජ්‍ය නායක මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසයි.

කෙසේ නමුත් ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්ට සමුළුව වර්ජනය කිරීමට බල කරනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඒ බව කියා සිටියේ බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

නායක සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වන මෙන් 1980 දීත් ඉල්ලීමක් කෙරුණු බව පවසන විපක්ෂනායකවරයා, ඒ සඳහා විශාල වියදමක් වැය වන බව පවසමින් ජනාධිපති ජේ ආර් ජයවර්ධන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කළේය.

වැය වන වියදම සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම සලකා බලන විට ශ්‍රී ලංකාවේ සමුළුව පැවැත්වීම 'විශාල ප්‍රශ්ණයක් බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය මූලික ප්‍රතිපත්තිය කොට ගත් සංවිධානයක සභාපති පදවිය හිමි වීමත් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියේ කරුණු මුලින්ම ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට බලපෑම් කිරීම තම පක්ෂයේ සැලසුම බවද විපක්ෂනායකවරයා සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර