දෙමළ උද්ඝෝෂකයන්ට සහ චැනල්4 කණ්ඩායමට බාධා

අනුරාධපුරයේ විරෝධතාවය
Image caption ආණ්ඩු හිතවාදී පිරිස් අනුරාධපුර නගරයේදී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් දුම්රියට බාධා කළහ

දෙමළ ජාතික උද්ඝෝෂකයන් පිරිසක් කොළඹ නගරය කරා ගමන් කිරීම ශ්‍රී ලංකා හමුදාව විසින් නවතා දමා ඇති අතර බ්‍රිතාන්‍ය රුපවාහිනී මාධ්‍ය කණ්ඩායමකට ද දිවයින තුල ගමනාගමනය කිරීමේ දී විරෝධතාවලට මුහුණ දීමට සිදු විය.

ඔවුන් පැමිණි බස් රථ ප්‍රථමයෙන් පොලීසිය විසින් නැවැත්වන ලද අතර පසුව හමුදාව තමන් බලහත්කාරයෙන් හරවා යැවූ බව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීමට නියමිතව තිබියදී දෙමළ උද්ඝෝෂකයන් පිරිස කොළඹ නගරයට රැගෙන ඒම සංවිධානය කළ එමානුවෙල් සෙබමාලෙයි පියතුමා ප්‍රකාශ කළේය.

"අපිට ආපසු යන ලෙස බල කළා, ඒත් අපට හේතුවක් කිව්වේ නැහැ. අපිට කොළඹ නගරයට ඇතුල්වෙන්න අවසර දුන්නේ නැහැ," යනුවෙන් දුරකතනයෙන් ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය ඇමතු එමානුවෙල් පියතුමා කියා සිටියේය.

කැලම් මැක්රේට තවත් බාධා

සාමය කඩකිරීම් ඇතිවිය හැකි බැවින් අදාල බලධාරීන් විසින් විරෝධතා කරුවනට කොළඹට ඇතුල් වීමට ඉඩ දී නැති බවයි, ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වාර්තාකරුවන්ට කියා සිටියේ.

ඊසාන දිග ප්‍රදේශයේ අවසන් යුද ගැටුම් ඇතිවූ ප්‍රදේශවල සංචාරය කිරීමේදී තවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට මේ අතර පසුගිය සඳුදා රට තුලට ඇතුල්වීමේදී ගුවන් තොටුපල ඉදිරිපිට දී දැඩි විරෝධතාවකට මුහුණ දුන් බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාවේ මාධ්‍යවේදීන්ට සිදු විය.

විදේශ අමාත්‍ය අවධානය

චැනල්4 මාධ්‍යවේදීන්ට වූ සිද්ධිය පිළිබඳව තමන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් විමසූ බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය වරයා පවසයි.

සිදුවීම දැන ගන්නට ලැබීමෙන් තමන් කම්පනයට පත්වූ බවයි විලියම් හේග් අමාත්‍යවරයා අද කොළඹ දී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේ.

සිය ගණනක් ආණ්ඩු හිතවාදී පිරිස් අනුරාධපුර නගරයේදී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්, යුද්ධයෙන් පරාජය කළ කොටි කැරළිකරුවන්ට සහාය නොදෙන මෙන් ඉල්ලා සිටිමින් කැලම් මැක්රේ, ජොනතන් මිලර් ඇතුළු චැනල්4 කණ්ඩායම ගමන් ගත් දුම්රියට බාධා කළහ.

සම්මානලාභී රූපවාහිනී වාර්තා වැඩසටහනක් වූ "නෝ ෆයර් සෝන්" සහ "ශ්‍රී ලංකා කිලින්ග් ෆීල්ඩ්" අධ්‍යක්ෂක කැලම් මැක්රේ පැවසුවේ ආපසු කොළඹට යන ලෙස පොලීසිය ඔවුනට පැවසූ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර