උතුරු නැගෙනහිර ගැන විදේශවලට ‘පැමිණිළි’

Image caption උතුරේ මානව හිමිකම් කැදවීමට විරුද්ධ උද්ඝෝෂණයක්

උතුරු නැගෙනහිර භුමියේ පවත්නා තත්වය පිළිබඳව තමන් පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන් කිහිප දෙනකුට පැමිණිලි කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පොදු රද මඩුලු සමුළුවට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ, බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය වරුන් බ්‍රහස්පතින්දා කොළඹ දී තම පක්ෂයේ නියෝජිතයන් මුණ ගැසුණු බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදයම් සම්බන්දන් මන්ත්‍රීවරයා බීබීසීයට ප්‍රකාශ කළේ.

උතුරු නැගෙනහිර භුමියේ පවත්නා තත්වය පිළිබඳව තමන් ඒ විදේශ අමාත්‍යවරුනට පැමිණිලි කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මන්ත්‍රීවරයා බීබීසී තමිලොසයි ප්‍රධානී තිරුමලෙයි මනිවන්නන් හට කියා සිටියේ.

'පිරිමැසිය නොහැකි විනාශයක්'

“ඉඩම් සම්බන්ධ බොහෝ කාරනා, හමුදා කරණය, කාන්තාවන්ට විශේෂයෙන්ම මුහුණ පාන්නට සිදුවී තිබෙන අනාරක්ෂිත තත්වය, අතුරුදහන් වූ පිරිස් පිලිබඳ කටයුතු හමාර කර නොතිබීම, නඩු පැවරීමකින් හෝ නිදහස් කිරීමකින් තොරව විශාල පිරිසක් රැඳවුම් භාරයේ තිබීම සහ පිළිගත හැකි දේශපාලන විසඳුමක් කරා එළඹීමට රජය කිසිදු පලදායී උත්සාහයක් දරා නොතිබීම,” ගැන තමන් කතා කළ බව දෙජාස නායකයා පැවසීය.

එමෙන්ම මේ තත්වය දිගටම පවතිතොත් උතුරු නැගෙනහිර පිරිමැසිය නොහැකි විනාශයක් දෙමළ ජනතාවට සිදුවන බවත් විදේශ අමාත්‍ය වරුන් ට දැනුම් දී සිටි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.