ශ්‍රී ලංකාව යලිත් යුද්ධයකට තල්ලු කරන්න හදනවා - ජානිපෙ

Mohamed Musammil (L) and Dep Minister Weerakumara Disanayake in the press conference
Image caption "මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වුනා කියල ඔවුන් උත්සාහ කරන්නේ යුද්ධවලට මේ රට තල්ලුකරන්න"

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ශ්‍රී ලංකාව යලිත් යුද්ධයකට තල්ලු කිරීමට උත්සාහ දරන බවට අමාත්‍ය විමල් විරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ බ්‍රිතාන්‍ය අගමැතිවරයාට චෝදනා කරයි.

ලබන මාර්තු මාසය වන විට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය මතු කිරීමට සිදු වනු ඇති බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා කළ ප්‍රකාශයට විරෝධය පළ කිරීම පිණිස ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවනු ලැබ තිබුණ පුවත්පත් සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායකයි එම අදහස් පළ කළේ.

"මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වුනා කියල ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ තව තවත් මානව හිමිකම් කඩන්න පුළුවන්, කඩ වෙනවා කියන ක්‍රියාමාර්ගවලට, යුද්ධවලට මේ රට තල්ලු කරන්න," යනුවෙන් ඔහු කියා සිටියේය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා උතුරේ සංචාරය කරමින් උතුරු පළාත පිළිබඳව වැරදි ප්‍රචාරයක් ලොවට දීමට උත්සාහ කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

'වර්ගවාදී ප්‍රකාශයක්'

Image caption 'බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉටු කළේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවක්'

උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට තමන් මැදිහත් වන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශයක් කර තිබෙන බව පවසන ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් එය හඳුන්වා දුන්නේ වර්ගවාදී ප්‍රකාශයක් ලෙසින්.

"ඒක වර්ගවාදී ප්‍රකාශයක්. මුස්ලිම් සිංහල ජාතීන් දෙගොල්ලම නැවත පදිංචි කළ යුතුයි. විග්නේශ්වරන් මහතා මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට කොමිසමක් පත්කිරීමට යනවා. අපි දන්නවා මේක කල් ගැනීමට කරන වැඩක්, මොකද නැවත පදිංචි කිරීමට කොමිසම් අවශ්‍ය නෑ," බවයි ඔහු පවසන්නේ.

උතුරේ මහ ඇමතිවරයා කොමිසමක් පත් කිරීම කල් ගැනීමේ උපායයක් හැටියට දකින ජාතික නිදහස් පෙරමුණ බොහෝ කරුණු වෙනුවෙන් රජය දිගින් දිගටම පත් කරන කොමිසම් දකින්නේත් එලෙසින්දැයි සන්දේශය මතු කළ ප්‍රශනයකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ ඇතැම් "සංකීර්ණ කරුණු" සම්බන්ධයෙන් කොමිසම් පත් කිරීමේ අවශ්‍යතාවයක පවතින බවයි.

"මෙතැනදී අවශ්‍ය සියලු තොරතුරු තියෙනවා, ඉඩම තියෙනව ඒ නිසා කොමිසම් අවශ්‍ය නෑ, කොමිසම් දාන්න ඕනෙ ඒව තියෙනවා නැති ඒවා තියෙනවා," යන්න ඒ ප්‍රශ්නයට මොහමඩ් මුසම්මිල් ගේ ප්‍රතිචාරයයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට දරා ගත නොහැකි මුදලක් වැය වූ බවට විපක්ෂය එල්ල කරන චෝදනාවට ප්‍රතිචාරය පළ කළ වීරකුමාර දිසානායක නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒ වියදමේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවාසීන්ට ලැබෙනු ඇති බවයි.

රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමෙන් සැබවින්ම සිදු වූයේ යටපත්ව ගොස් තිබුණ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධයෙන් යලිත් ජාත්‍යන්තර අවධානයට ලක් වීම නොවේ දැයි යන්න සංදේශය මතු කළ තවත් ප්‍රශ්නයක්.

"යට ගියේ නෑ මේ ප්‍රශ්නේ, මේක ජිනීවාවල මේ මාර්තු මාසේ එන්ඩ තිබුණ ප්‍රශ්නයක්," බවයි ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර