රාජ්‍ය අංශයේ දූෂණ - 'වැඩියෙන්ම චෝදනා පොලිසියට'

Image caption ශ්‍රී ලංකාවේ දූෂිතම ආයතනය ලෙසින් පිළි ගැනීමට සූදානම් නැති බව පොලිසිය පවසයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ බරපතල දූෂණ තත්වයක් මතු වී තිබෙන බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

පොලිසිය, අධිකරණය, අධ්‍යාපනය සහ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරන අංශ වෙත ප්‍රධාන වශයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබෙන බවද එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස් රනුග්ගේ ප්‍රකාශ කරයි.

ඒ අතරින් වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ පොලිසියට බවයි, විධායක අධ්‍යක්ෂවරයා එල්මෝ ප්‍රනාන්දුට කියා සිටියේ.

ජර්මනියේ පිහිටි ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ මූලස්ථානය මගින් නිකුත් කරන ලද මේ වසරේ දූෂණ දර්ශකයට අනුව සමීක්ෂණයට ලක් කරන ලද රටවල් 171 කින් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 91 වැනි ස්ථානය.

ලකුණු තිස් හතක් ලබා ගෙන ශ්‍රී ලංකාව දර්ශකයේ අනූ එක් වැනි ස්ථානයට පත් වෙද්දී, ලකුණු අනූ එකක් ලබා ගෙන ඩෙන්මාර්කය සහ නවසීලන්තය දර්ශකයේ ඉහලින්ම සිටිති.

සම බර තත්වයේ මත දරන වෘත්තිකයන් නියැදි වශයෙන් උපයෝගි කර ගනිමින් මේ වාර්ෂික දර්ශකය සකස් කොට තිබෙන බවද විධායක අධ්‍යක්ෂ එස් රනුග්ගේ සංදේශයට පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දූෂිතම ආයතනය ලෙසින් පිළි ගැනීමට සූදානම් නැති බවයි, පොලිසිය පවසන්නේ.

අදාළ සමීක්ෂණය වෙනුවෙන් යොදා ගත් ක්‍රමවේදය ගැටළු සහගත බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර